රු. බිලියනයක් රඳවා ගැනීමට ටූනා මත්ස්‍ය ඇම නිෂ්පාදනය මෙරට දීම අරඹයි

    August, 21, 2018

    ටුනා මත්ස්‍යයින් ඇල්ලීම සදහා ධිවරයින් භාවිතා කරන ඇම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත.

    මෙම ඇම නිෂ්පාදනය පුත්තලම දිස්ත්‍රික්කයේන් ආරම්භ කිරීම සදහා අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇතැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

    එම කටයුතු ආරම්භ කිරීම සදහා වැය කිරීමට අපේක්‍ෂිත මුදල රුපියල් මිලියන 26 කි.

    එහි පළමු අධියරේ කටයුතු ආරම්භ කිරීම සදහා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා විසින් රුපියල් මිලියන 13 ක් වටිනා චෙක්පත එම ඇම නිෂ්පාදනය කරන ලිහිණියා ආයතනය වෙත ලබා දෙනු ලැබිය.

    බත්තරමුල්ල වෝටර්ස් එජ් හි ඊයේ [ 20 ] පැවති ජලජිවි වගා ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබද දෙස් විදෙස් ආයෝජකයින් දැනුවත් කිරීමේ ආයෝජන සමුළුව - 2018 හිදී ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අතින් මෙම චෙක්පත් ප්‍රදානය කළේය .

    ටුනා මත්ස්‍යන් ඇල්ලීම සදහා වසරකට රුපියල් මිලියන 1107 ක් වටිනා ඇම ආනයනය කරන බව ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය සදහන් කළේය. එම විශාල මුදල රට තුල රදවාගැනීම සදහා ටුනා මත්ස්‍යයින් සදහා භාවිතා කරන ඇම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය සදහා අවශ්‍ය කටයුතු ආරම්භ කරනු ලැබිණි .

    පුත්තලම ප්‍රදේශයෙන් ආරම්භ කරන මෙම ඇම නිෂ්පාදන ව්‍යාපෘතියේ පළමු අධියරේ ඉලක්කය වසරකට කිලෝ එක්ලක්‍ෂ තිස් පන් දහසක් [ 135.000 ] නිෂ්පාදනය කිරීමය .

    මෙම අවස්ථාවට ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්න මදවන්ආරච්චි , අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න මහත්වරුන් සහ ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂිකා ජේ.එම්.අශෝකා මහත්මියද එක්ව සිටියහ .