රේණුකා වීරකෝන් ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

    February, 7, 2022

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස රේණුකා වීරකෝන් මහත්මිය පත්කර ඇත. අදාළ පත්වීම් ලිපිය ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරි වෙත  ලබා දිම අද (07)  ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන අමාත්‍යාංශයේදි සිදු කෙරිණි.

    වීරකෝන් මහත්මිය වසර 27ක පමණ කාලයක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ  නිලධාරිණියෙකි.

    ඊජිප්තුවේ කයිරෝ අගනුවර ශාන්ත ජෝෂප් විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය ලද ඇය අනතුරුව කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය හදාරා  කොළඹ නීති විද්‍යාලයට ප්‍රවිෂ්ඨ  විය. 1994 වර්ෂයේ දී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහකාර කළමානාකාර නීති - ප්‍රාදේශීය සංවර්ධන ලෙස සේවයට එක් වෙමින් එතැන් පටන් කළමනාකාර, අධ්‍යක්ෂිකා, විධායක අධ්‍යක්ෂිකා ලෙස අංශ ගණනාවකටම සිය සේවය ලබා දී ඇත. මේ වන විට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ‌ජ්‍යෙෂ්ඨතම විධායක අධ්‍යක්ෂවරිය වන රේණුකා වීරකෝන් මහත්මිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිය හා ව්‍යාපෘති කළමණාකරණය පිළිබද පශ්චාත් උපාධි හදාරා ඇත. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ  රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂණය හා ක්‍රියාත්මක කිරිම පිළිබදව හදාරා ඇති ඇය ශ්‍රි ලංකා නීති සංගමයේ සාමාජිකාවක්ද වේ.

    මෙම  අවස්ථාවට ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ශ්‍රී  ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය යන මහත්වරු ඇතුළු සියළුම අංශ ප්‍රධානීන් එක් වූහ.