ලංකාවේ පළමු ඩොලර් ආයෝජන අරමුදල ඇරඹෙයි. තොරතුරු මෙන්න!

    July, 30, 2014

    මෙරට රජය, බැංකු ඇතුළු ආයතන විසින් නිකුත් කර තිබෙන ඉහළ ප්‍රතිලාභයක් ලබාදෙන ඩොලර් බැඳුම්කරවල ආයෝජනය කිරීමේ අවස්ථාව විදේශීය ආයෝජකයින්ට සහ විදේශීය සමාගම් වලට ලබාදෙමින් ලංකාවේ පළමු ඩොලර් අරමුදල හඳුන්වා දෙයි.

    මේ අනුව, සිලෝන් ඇසට් මැනේජ්මන්ට් සමාගම විසින් “Ceylon Dollar Bond Fund“ නැමති මෙම අරමුදල කොළඹදී අද පස්වරුවේදී හඳුන්වා දුන් අතර අරමුදල විසින් ඉදිරි මාස තුන ඇතුළත ඩොලර් මිලියන 10 ක පමණ විදේශීය ආයෝජන බලාපොරොත්තු වනබව සිලෝන් ඇසට් මැනේජ්මන්ට් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, දුලීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අප සමග සඳහන් කළේය.

    රජය, ලංකා බැංකුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළුව ලංකාව විසින් නිකුත් කර තිබෙන ඩොලර් බැඳුම්කර මේ වනවිට සිංගප්පූරු කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතකර තිබේ. වසර පහකින් කල් පිරෙන මෙම බැඳුම්කර එයට කලින් ආයෝජකයින්ට විකුණා දැමීමට අවශ්‍ය වනවිට සිංගප්පූරු කොටස් වෙළඳ පොළ හරහා ආයෝජකයින්ට ඕනෑම වේලාවක ඒවා විකිණීම කළ හැකිය.

    දුලින්ද්‍ර පෙරේරා මහතා අප සමග පැවසුවේ දැනට මෙරට රජය සහ ආයතන විසින් නිකුත් කර තිබෙන ඩොලර් බැඳුම්කර වලින් කොටසක් සිංගප්පූරු කොටස් වෙළඳ පොළෙන් මිලදීගෙන මෙම ඩොලර් අරමුදල ආරම්භ කරන බවයි.

    එවිට විදේශීය ආයෝජකයින්ට ඩොලර් වලින් ගෙවා මෙම අරමුදලෙන් ලංකාවේ ඩොලර් බැඳුම්කර මිලදීගත හැකිය. මෙහි විශේෂත්වයක් වන්නේ ඩොලර් 1000 ක් වැනි මුදලක් පවා ගෙවා මෙම අරමුදලෙන් බැඳුම්කර මිලදීගත හැකි වීමයි.

    විදේශිකයින් විසින් රුපියල් වලින් ආයෝජනය කිරීමට වඩා ඩොලර් වලින් ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වන්නේ රුපියල අව ප්‍රමාණය වනවිට ඔවුන්ගේ ආයෝජනයේ ප්‍රතිලාභ අඩුවන නිසයි. මේ නිසා, දුලින්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ ඩොලර් වලින් ආයෝජනය කිරීමට අවස්ථාව ලැබෙන නිසා විදේශීය ආයෝජකයින් මෙම අරමුදලට වඩාත් ආකර්ශනය වනු ඇති බවයි.

    මෙම අරමුදල විශේෂයෙන්ම සකසා තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් වලින් ආයෝජනය කිරීම සඳහා වන අතර අරමුදලේ භාරකාරීත්වය දරන්නේ ඩොයිෂ් බැංකුවයි. කළමනාකරණය කරන්නේ සිලෝන් ඇසට් මැනේජ්මන්ට් සමාගම විසිනි.

    දුලීන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අප සමග සඳහන් කළේ මෙම අරමුදලේ ආයෝජන සඳහා වාර්ෂිකව සියයට 4 කට වැඩි ප්‍රතිලාභයක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

    ඉදිරියේදී ඩොලර් වලින් ආයෝජනය කළ හැකි ලාංකික සමාගම් හා ලාංකික ආයෝජකයින් සඳහාද මෙම අරමුදලේ ආයෝජනය කිරීමට අවසර ඉල්ලා ඇතැයි හෙතෙම අප සමග පැවසීය.