ලංකාවේ සංචාරක රාත්‍රියකට වැටෙන ඩොලර් වැඩිවේ

    March, 19, 2014

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවා හා අගය එකතු කිරීම් වැඩිවීම හමුවේ මෙරටට පැමිණෙන සංචාරකයින් ලංකාවේ රාත්‍රියක් ගත කිරීමට වැයකරන මුදල වැඩිවෙමින් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

    සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එස්. ජයවීර කොළඹදී පැවසුවේ මෙරටට පැමිණ සංචාරකයෙකු 2012 වසරේදී රාත්‍රියක් ගත කිරීමේදී වැයකළ මුදල ඩොලර් 103 ක්වූ බවත් එය 2013 වනවිට ඩොලර් 156.5 ක් දක්වා වැඩිවී තිබෙන බවයි.

    මෙම වසරේදී මෙම මුදල තවදුරටත් ඉහළ යනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය.

    මේ අනුව, ගිය වසරේදී සංචාරක කර්මාන්තයෙන් ලංකාව ඉපැයූ ඩොලර් බිලියන 1.7 ක ආදායම මේ වසරේදී තවදුරටත් ඉහළ නගිනු ඇති බවත් 2014 මුල් මාස දෙකේදී පමණක් සංචාරක කර්මාන්තයෙන් ලංකාව ඩොලර් මිලියන 295 ක ආදායමක් උපයා ඇති බවත් හෙතෙම මෙහිදී අනාවරණය කළේය.

    2008 වසර තුළදී සංචාරක කර්මාන්තයෙන් ලංකාව උපයා තිබුණේ ඩොලර් මිලියන 390 ක ආදායමක් පමණි.

    ගෙවුම් ශේෂ හිඟය පියවීමට සංචාරක කර්මාන්තය

    සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම් වැඩිකිරීම මගින් මෙරට ගෙවුම් ශේෂ හිඟය පහසුවෙන් පියවා ගත හැකිබවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.