ලංකාව පිටරටට ඩොලර් බිලියන 50.7 ක් ණයයි

    May, 3, 2022

    විදේශීය ණය

    ප‍්‍රධාන වශයෙන් මහ බැංකුවේ සහ තැන්පතු භාරගන්නා ආයතනවල විදේශීය ණය වැඩිවීමත් සමඟ 2021 වසරේ දී ශ‍්‍රී ලංකාවේ මුළු විදේශීය ණය තත්ත්වය ඉහළ ගියේය. 2020 වසර අවසන් වන විට පැවති රටේ මුළු විදේශීය ණය ප‍්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 49.0ක සිට 2021 වසර අවසන් වන විට එ.ජ. ඩොලර් බිලියන 50.7ක් දක්වා වැඩි විය. ප‍්‍රධාන වශයෙන් චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් දෙක ලැබීමත් සමඟ නොපියවා ඉතිරිව ඇති රජයේ මුළු විදේශීය ණය වසර තුළ ඉහළ යාමක් වාර්තා කළ ද, වෙළඳපොළ මිලට අනුව රජයේ විදේශීය ණය 2020 වසර අවසන් වනවිට පැවති එ.ජ. ඩොලර් බිලියන 28.2ක සිට 2021 වසර අවසන් වන විට එ.ජ. ඩොලර් බිලියන 27.3ක් දක්වා අඩු විය. මෙය, ශ‍්‍රී ලංකාවේ නොපියවා ඉතිරිව ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල වෙළඳපොළ මිල පහත වැටීම සහ 2021 වසරේ ජූලි මාසයේ කල් පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය ආපසු ගෙවීමේ ඒකාබද්ධ ප‍්‍රතිඵලයක් විය. 2021 වසරේ රජයේ විදේශීය ණය අඩු වීමට ප‍්‍රධාන හේතුවක් වූයේ ජාත්‍යන්තර වෙළඳපොළවල් වෙතින් නව ණය ගැනීම අඩු වීම සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංචිත උපයෝගී කර ගනිමින් රජය සතු විදේශීය ණය වගකීම් ආපසු ගෙවීමට සිදුවීමයි.

    මේ අතර, ඉන්දියානු සංචිත බැංකුවෙන් ලැබුණු විදේශ විනිමය හුවමාරු පහසුකම ආපසු ගෙවුව ද, චීන මහජන බැංකුව සහ බංගලාදේශ බැංකුව සමඟ නව ද්විපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු පහසුකම්වලට එළඹීම හේතුවෙන් 2020 වසර අවසානයට සාපේක්ෂව 2021 වසර අවසන් වන විට මහ බැංකුවේ නොපියවා ඉතිරිව ඇති විදේශීය ණය සැලකිය යුතු ලෙස වැඩි විය. කෙටිකාලීන ණය තත්ත්වය කැපී පෙනෙන ලෙස පහළ ගියද, මුදල් හා තැන්පතුවල සැලකිය යුතු ඉහළ යෑම හේතුවෙන් තැන්පතු භාරගන්නා ආයතනවල නොපියවා ඉතිරිව ඇති විදේශීය ණය ප‍්‍රමාණය ද සැලකිය යුතු ලෙස වැඩි විය. මේ අතර, පෞද්ගලික අංශයේ සමාගම් විසින් ලබා ගත් විදේශීය ණය ප‍්‍රමාණය වැඩි වුව ද, පෞද්ගලික අංශය වෙත ලැබුණු වෙළෙඳ ණයෙහි නොපියවා ඉතිරිව ඇති ප‍්‍රමාණය අඩුවීම සහ රජය සතු වාණිජ ව්‍යවසායයන්ගේ විදේශීය ණය ආපසු ගෙවීම සමඟ 2021 වසරේ දී පෞද්ගලික අංශයේ සමාගම් සහ රජය සතු වාණිජ ව්‍යවසායයන්ගේ නොපියවා ඉතිරිව ඇති විදේශීය ණය ප‍්‍රමාණය පහළ ගියේය. තව ද, වසර තුළ දී ඍජු ආයෝජන ව්‍යාපාර කිහිපයක් වෙත අන්තර් සමාගම් ණය සහ කොටස් හිමියන්ගේ අත්තිකාරම් ලැබුණු බැවින්, ඍජු ආයෝජන ව්‍යාපාරවල අන්තර් සමාගම් ණය 2021 වසරේ දී ඉහළ ගියේය.

    ද.දේ.නි. යෙහි ප‍්‍රතිශතයක් ලෙස රටෙහි නොපියවා ඉතිරිව ඇති මුළු විදේශීය ණය ප‍්‍රමාණය වසර තුළ දී සුළු වශයෙන් පහළ යෑමක් වාර්තා කරන ලදී. 2020 වසරට සාපේක්ෂව 2021 වසර තුළ දී නාමික ද.දේ.නි.යෙහි වැඩිවීම පිළිබිඹු කරමින්, 2021 වසර අවසානයේ දී නොපියවා ඉතිරිව ඇති මුළු විදේශීය ණය ප‍්‍රමාණය ද.දේ.නි.යෙහි ප‍්‍රතිශතයක් ලෙස 2020 වසර අවසානයෙහි පැවති සියයට 60.5ට සාපේක්ෂව සියයට 60.0ක් විය. සමස්ත විදේශීය ණය තත්ත්වයෙන් රජයේ නොපියවා ඉතිරිව ඇති විදේශීය ණය තත්ත්වය 2020 වසර අවසානයේ දී පැවති සියයට 57.5 සිට 2021 වසර අවසානයේ දී සියයට 53.9ක් දක්වා පහළ ගියේය. ණය කල්පිරීමේ කාලය අනුව, දිගුකාලීන කල් පිරීම් සහිත ණය ද.දේ.නි.යෙහි ප‍්‍රතිශතයක් ලෙස 2020 වසර අවසානයේ දී පැවති සියයට 50.4ට සාපේක්ෂව 2021 වසර අවසානයේ දී සියයට 50.0ක් දක්වා සුළු වශයෙන් පහළ ගියේය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වේ.