ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා මහජන බැංකුව ඒකාබද්ධව ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රගමනයට නවමු වැඩසටහනක් දියත් කරයි

    July, 8, 2020

    පසුගිය කාලයේදී ඇතිවූ වසංගත තත්වය හමුවේ ගැටලු රාශියකට මුහුණ දුන් කර්මාන්ත ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මත දිවයිනේ ක්ෂුද්‍ර සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා සහය වීමට කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය  යටතේ ඇති ලංකා කාර්මික සංවර්ධන මංඩලය,මහජන බැංකුව හා ඒකාබද්ධ වී විශේෂ කර්මාන්ත සංවර්ධන වැඩසටහනක් හඳුන්වා දී ඇත.

    අපනයන, ආනයන ආදේශන, දේශීය වටිනාකම් එකතු කිරීම සහ රැකියා උත්පාදනය සඳහා වැඩි විභවයක් ඇති කර්මාන්ත සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

    මහජන බැංකුව විසින් මූල්‍ය පහසුකම් සපයනු ලබන අතර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කර්මාන්තයේ කළමනාකරණය, අළෙවිය, තාක්‍ෂණය හා ගනුදෙනු වාර්තා කිරීම ශක්තිමත් කර බැංකුව වෙත ඉදිරිපත් කර ණය ලබා ගැනීමට යොමු කරවන අතර කර්මාන්තයේ සංවර්ධනය හා තිරසාර බව ඇති කිරීම සඳහා නිරතුරු පසු විපරම් කටයුතු කරනු ලබයි.

    මෙම වැඩසටහන සඳහා ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ඉල්ලුම් කල හැකි අතර ඉල්ලුම් කරනු ලබන සියලුම කර්මාන්ත ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් කර්මාන්තයේ මූල්‍ය අවශ්‍යතාවය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර මහජන බැංකුව වෙත ඉදිරිපත් කරනු ලැබේ. ඒ අනුව මහජන බැංකුව විසින් අවශ්‍යතාවයේ පරිමාව මත ණය මුදල තීරණය කර ව්‍යාපෘතියේ සහන ණය කොන්දේසි අනුව ණය නිකුත් කරනු ලැබේ.

    මෙම වැඩසටහනේ සමාරම්භය හා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හා කොළඹ , තුම්මුල්ල , පීපල්ස් ලීසිං ගොඩනැගිල්ල , මහජන බැංකු ශ්‍රවනාගාරයේ දී හෙට (09) දින පැවැත්වීමට කටයුතු සලසා ඇත.