ලංකා බැංකුවේ නව මහා කළමනාකාර/ප්‍රධාන විධායක නිලධාරී සෙනරත් බණ්ඩාර වැඩ බාර ගනී

    February, 23, 2018

    ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සෙනරත් බණ්ඩාර මහතා එම බැංකුවේ මහා කළමනාකාර/ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා පත් කරනු ලැබිණි. ශ්‍රී ලංකා මහ බැංකුවේත්, වෙනත් අදාළ අධිකාරින්ගේත් අනුමැතියෙන් අනතුරුව පෙබරවාරි මස 22වන බ්‍රහස්පතින්දා ඒ මහතා සිය ධුරයේ වැඩ බාර ගත්තේය. බණ්ඩාර මහතා එම ධුරයට පත්වූයේ ඩී.එම්. ගුණසේකර මහතා විශ්‍රාම යාමෙන් ඇතිවූ පුරප්පාඩුව හේතුවෙනි. 2013 වසරේ ජනවාරි මාසයේදී ලංකා බැංකුවේ මහා කළමනාකාර ලෙස පත්වූ ඩී.එම්. ගුණසේකර මහතා විශ්‍රාම යන විට වෘත්තීය බැංකුකරුවෙකු ලෙස වසර 34ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිණි.

    ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන බණ්ඩාර මහතා, ලංකා බැංකුවේ වසර 28ක කීර්තිමත් වෘත්තීය ජීවිතයකට හිමිකම් කියයි. 1990 වසරේදී කළමනාකරණ අභ්‍යාස ලාභියෙකු ලෙස ලංකා බැංකුවට එක්වූ ඒ මහතා සිය නව ධුරයේ වැඩ බාර ගැනීමට පෙර එම බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකාර (විකුණුම් සහ හැසිරවීම් කළමනාකරණ) ලෙස කටයුතු කළේය.

    භාණ්ඩාගාර සහ ජාත්‍යන්තර, පුද්ගලික සහ ආයතනික බැංකුකරණය, සංවර්ධන බැංකුකරණය, ඉලෙක්ට්‍රොනික බැංකුකරණය සහ තාක්ෂණික යන  ක්ෂේත්‍රවල ද පෘථුල අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන බණ්ඩාර මහතා ලංකා බැංකුවේ 20වන මහා කළමනාකාරවරයාය. 2011 සිට 2012 දක්වා කාලය තුළ ලංකා බැංකුවේ එක්සත් රාජධානි ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා, ලන්ඩන් ශාඛාව බැංකුවක් බවට පරිවර්තනය කිරීම, මධ්‍ය බැංකුකරණ පද්ධතිය උසස් කිරීම සහ බැංකුවේ පරිවර්තනීය ව්‍යාපෘති ඇතුළු ප්‍රධාන පෙළේ ව්‍යාපෘති රැසක් සාර්ථකව දියත් කිරීම සඳහා නායකත්වය ලබා දුන්නේය.

    ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු මෙන්ම, ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ සහ ෆයිනෑන්ස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වන බණ්ඩාර මහතා, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභික සාමාජිකයෙකු ලෙස ද ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ ගරු සභාපති ලෙස ද කටයුතු කරයි. ඒ මහතා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ද අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇත.

    ලංකා බැංකුව සමග එක්වීමට පෙර බණ්ඩාර මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ තාවකාලික සහකාර කථිකාචාර්යවරයෙකු ලෙසත්, මහවැලි අධිකාරියේ සැලසුම් සහ අධීක්ෂණ ඒකකයේ සංඛ්‍යාන විශේෂඥයෙකු ලෙසත් කටයුතු කර ඇත. තවද, ඒ මහතා බැංකුකරුවන්ගේ ආයතනයේ ණය සහ ආයෝජන කළමනාකරණ ක්ෂේත්‍රයේ සම්පත් දායකයෙකු ද වූයේය.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාද් කළමනාකරණ ආයතනයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ දර්ශනපති උපාධිය (MBA) කුසලතා සාමාර්ථයක් සහිතව හිමිකර ගත් බණ්ඩාර මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයෙන් දෙවන පෙළ (ඉහළ) සාමාර්ථයක් සහිතව උපාධිය හිමිකර ගත්තේය. ඇමරිකා එක්සත් ජනපදයේ හාවර්ඩ් ව්‍යාපාරික පාසලේ උසස් කළමනාකරණ වැඩසටහන සම්පූර්ණ කළ ඔහු, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සම සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අතර, එහිදී ඔහු බැංකු කළමනාකරණය පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාව ද විශිෂ්ටත ම ශිෂ්‍යයාට හිමි සම්මානය ද සහිතව සම්පූර්ණ කිරීමට සමත් වූයේය. කුරුණෑගල ප්‍රදේශයේ උපත ලද ඒ මහතා, ඉඳුල්ගොඩකන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේය. එතුමන්ගේ බිරිඳ වෘත්තියෙන් ගුරුවරියකවන අතර, පුතණුවන් එක්සත් රාජධානියේ ටටා ස්ටීල් යුරෝප් සමාගමේ නිෂ්පාදන ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරයි. එතුමන්ගේ දියණිය දෙවන වසරේ ජීව විද්‍යා උපාධි අපේක්ෂිකාවකි.

    "මෙරට ආර්ථිකය තුළ ලංකා බැංකුව සම්ප්‍රදායික වාණිජ බැංකුවකට එහා ගිය භූමිකාවක් ඉටු කරනවා. එය මෙරට ආර්ථික වර්ධනයේ අවියෝජනීය කාර්යභාරයක් සිදු කරනවා. මෙම කාර්යභාරය අනුව යමින් සංවර්ධන ව්‍යාපෘති සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ණය ලබාදීම තවදුරටත් සවිබල ගැන්වීමට ලංකා බැංකුව අඛණ්ඩව කටයුතු කරනු ඇති. වාණිජ බැංකුවක් ලෙස පාරිභෝගික සේවාවක් ලබාදීමත්, බැංකුවේ බැංකු නිෂ්පාදන සහ සේවා නවීනත ම තාක්ෂණය සමග සම්බන්ධ කරමින් සෑම පාරිභෝගිකයෙකුගේ ම අපේක්ෂාවන් අභිබවා යන හොඳ සේවාවක් ලබා දීමත්, වෙනත් රාජ්‍යයන්හි තවදුරටත් ලංකා බැංකුව ව්‍යාප්ත කිරීමත් මාගේ අරමුණයි. BOC Digi විවෘත කරමින් අපගේ පාරිභෝගික ජනතාවට වැඩි ප්‍රතිලාභ අත්කර දීම සඳහා ඩිජිටල්කරණය නව මානයකට ගෙන යාමට අපට හැකිවූ අතර, එම පියවර ඉදිරියටත් පවත්වා ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. ලංකා බැංකුව පුරා තෘප්තිමත් ශ්‍රම බලකායක් ගොඩනැගිය හැකි ලෙස මානව සම්පත සවිබල ගැන්වීම ද මාගේ ඉලක්ක අතර වෙනවා" යනුවෙන් බණ්ඩාර මහතා සඳහන් කළේය.