ලංවා CIOB හරිත ඉදිකිරීම් සහතිකයෙන් පිදුම් ලැබූ එකම වානේ නිෂ්පාදකයා වූ වගයි

    July, 27, 2017

    වානේ ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන ලංවා සංස්ථා වානේ ඔවුන්ගේ කොන්ක්‍රීට් වැරගන්වන (Re-bars) වානේ කම්බි නිෂ්පාදනය (CIOB) ඉදිකරන්නන්ගේ ලංකා ආයතනය විසින් පිරිනමණ "හරිත ලකුණ" සහතිකයෙන් පිදුම් ලැබීය.

    මෙම "හරිත ලකුණ" යනු තිරසාරත්වය පදනම්ව ඉදිකිරීම් පරිසරය තුල හරිත බව අගයන ක්‍රමවේදයකි.

    මෙහිදී නව ගොඩනැගිලි මෙන්ම දැනට පවතින ගොඩනැගිලිද ඇගයීමට ලක්වෙයි. ගොඩනැගිලි ඉදිකිරීම සඳහා යොදාගැනෙන ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය කොපමණ පරිසර හිතකාමීව සිදුකලේද යන්නත් මෙම ඇගයීමට පාදක කරගනු ලබයි.

    ජාත්‍යන්තරව පිළිගන්නා නිර්ණායකයන්ට අනුකූලව සිදුවන මෙම ඇගයීම පාරිසරික සැලසුම්කරණය හා කාර්යසාධනයෙහිලා පිළිගත් මිණුම් දණ්ඩක් වන අතර  ඒ නිසාම දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ නියුතු සියලු පාර්ශව කරුවන්ට "හරිත ලකුණ" සහතිකය ලබා දෙන්නේ ඉතා ඉහල අනුබලයක්.

    ඉදිකරන්නන්ගේ ලංකා ආයතනය ශ්‍රී ලංකාවේ කීර්තිමත් ඉන්ජිනේරුවන් හා දේපළ සංවර්ධකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් 1961 වසරේ ස්ථාපිත වූ ආයතනයකි. මෙහි ප්‍රමුඛතම අරමුණ වන්නේ නවීන තාක්ෂණය හා තාක්ෂණික ක්‍රමවේදයන් ප්‍රගුණ කිරීමයි. එසේම නිපුනතාව හා ප්‍රමිතිය සුරක්ෂිත කරගනිමින් වෘත්තීමය කිර්ථිය අත්පත්කරගැනීම සඳහා ඉදිකරන්නන් හා ඉදිකිරීම් ද්‍රව්‍ය නිෂ්පාදකයින් යොමුකිරීමද මෙහි ප්‍රධාන පරමාර්ථයකි. මෙමගින් අදාල ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ඇතිවන ප්‍රවර්ධනය ජාත්‍යන්තර සබඳතා හා නව ආයෝජන අවස්ථා බිහිකිරීම දක්වා මෙහෙයවීම හා ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුභවාදී ප්‍රසාරණයක් ඇතිකිරීම වෙනුවෙන් ද  ඉදිකරන්නන්ගේ ලංකා ආයතනය කැපවී සිටී.

    එවන් පරමාර්ථයන්ගෙන් හෙබි ඉදිකරන්නන්ගේ ලංකා ආයතනය මගින් "හරිත ලකුණ" සහතිකය දිනාගැනීමට ලංවා සමත්වීම සිලෝන් ස්ටීල් කෝපරේෂන් පෞද්ගලික ව්‍යාපාර සමූහය ලැබූ විශාල ජයග්‍රහනයකි.

    සම්මාන ප්‍රධානෝත්සවය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹදී පැවැත්විණ. ඉදිකරන්නන්ගේ ලංකා ආයතනයේ සභාපති රොහාන් කරුණාරත්න මහතා ද මෙම අවස්ථාවට එක්විය.