ලක්විජයට සුළං ආවරණයක්. ලාෆ්ස් හා සන්කෙන්ට රු. මිලියන 723 ක කොන්ත්‍රාත්තුවක්

    January, 11, 2018

    පුත්තලම, ලක්විජය බලාගාරයේ විදුලි ජනන කටයුතු සඳහා වාර්ෂිකව ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් පමණ අවශ්‍ය වේ. එහි ජැටියට නැවෙන් ගොඩ බානු ලබන ගල් අඟුරු ගබඩා අංගණය වෙත ප්‍රවාහනය කිරීමේදී මෙන්ම ගබඩා කර තැබීමේදීද, දහනය කරන ලද ගල් අඟුරු අළු තාවකාලිකව ගබඩා කර තැබීමේදීද දූවිලි ජනනය වේ. මෙය ඒ අවට පදිංචිකරුවන්ට විශාල කරදරයක්ව තිබේ.

    ගල් අඟුරු ගබඩා කර ඇති අංගණයේ මුහුදු සීමාවේ මීටර 450ක් දිග හා මීටර 15ක් උස සුළං බාධකයක් දැනටමත් ඉදි කොට ඇති නමුත්, තද සුළං හමන කාලවලදී මෙම බාධකය ප්‍රමාණවත් නොවන බව හඳුනා ගනු ලැබ තිබේ. එමෙන්ම, දහනය කරන ලද ගල් අඟුරු අළු ගබඩා කර ඇති අංගණයද ආවරණය වන පරිදි මෙම සුළං බාධකය දීර්ඝ කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.

    එබැවින්, ලක්විජය බලාගාරයේ වර්තමාන සුළං බාධකය ගල් අඟුරු අංගණය හා අළු අංගණය ද සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි පුළුල් කර ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම පිණිස ලංසු කැඳවනු ලැබ තිබේ.

    ඒ අනුව, එම කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 723.7ක මුදලකට Laugfs Engineering (Pvt.) Ltd. and Sanken Construction (Pvt.) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.