ලක්ෂ 33 ක් යතුරුපැදි මහපාරේ

    September, 8, 2016

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ වන විට වාහන ලක්ෂ 63ක් පමණ ලියාපදිංචි වී ඇති බවත් ඉන් ලක්ෂ 33ක් යතුරුපැදි මෙන් ම ලක්ෂ 10.05ක ප්‍රමාණයක් ත්‍රී රෝද රථ වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

    2016 වසරේ ගෙවුණු කාල සීමාවට පසුගිය 2015 වසරේ එම කාල සීමාව සැසඳීමේ දී මාර්ග අනතුරු හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 106කින් අඩු වී ඇති නමුත් යතුරු පැදි හේතුවෙන් සිදු වූ ජීවිතහානීන් අඩු වී නොමැති බවත් මෙම වසරේ දී පමණක් මරණ 667ක් වාර්තා වී ඇති බවත් පෙන්වා දුන්නේය.

    යතුරුපැදි අනතුරු හේතුවෙන් 50%ක් පමණ පිරිසක් මියනොයා යුතු පුද්ගලයින් ද මියගොස් ඇත්තේ ආරක්ෂිත හිස් ආවරණය වීසි වීම, ගෙල පටිය ගැලවී යාම මෙන් ම හිස් ආවරණය පුපුරා යාම වැනි නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීම නිසා බව අනාවරණය වී ඇති බැවින් හිස් ආවරණ සඳහා නිසි ප්‍රමිතියක් ගෙන ඒමට කටයුතු කළ බවත් ඒ මහතා පැවසීය.

    මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන ජීවිත හානි 50%කින් අඩුකරගැනීමේ අරමුණින් යුතු ව අන්තර්ජාතික වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක සංවිධානය තුළින් 2010 - 2020 දශකය මාර්ග අනතුරු අවම කිරීම දශකය ලෙස නම් කොට ඇති බවත් මෙහිදී අනාවරණය විය.

    ඉදිරියේ දී භාවිත කරනු ලබන හිස් ආවරණ SLS 517 ප්‍රමිතියෙන් යුක්ත විය යුතු බවත් ඒ සඳහා වූ ප්‍රමිති සහතික ලබාගැනීම සඳහා මේ වන විට හිස් ආවරණ නිෂ්පාදකයන් මෙන් ම ආනයනකරුවන් ද කිහිපදෙනෙකු මේ වන විට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වෙත ඉල්ලීම් කොට ඇති බව එහි ජ්‍යේෂඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දේව ලියනගේ මහතා පැවසීය.

    මෙහිදී ප්‍රමිති කාර්යාංශයේ ජ්‍යේෂඨ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් හිස් ආවරණවල ප්‍රමිතිය මෙන්ම ඒවා තත්ත්ව පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ ව ද කරුණු අනාවරණය කළේය.