April, 6, 2023
20 වැනි වරටත් සංවිධානය වන අන්තර් වැවිලි සමාගම් සත් සාමාජික රග්බි තරගාවලිය 2023 අප්‍රේල් 8 වැනි දින හැටන්, දික්ඔය ධාරවෙල ක්‍රිකට් ක්‍රීඩා සමාජ (DMCC) ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතය.
කොවිඩ් වසංගතය හේතුවෙන් වසර 2කට පසු පැවැත්වෙන මෙවර තරගාවලියට කණ්ඩායම් 12ක් සහභාගි වන අතර රග්බි ලෝලීන්, ඔවුන්ගේ පවුල්වල අය සහ හිතවතුන් විශාල සංඛ්‍යාවක් ආකර්ශනය කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වැවිලි කර්මාන්තයට උසස් තත්ත්වයේ පොහොර සපයන ප්රමුඛ පෙළේ පොහොර සන්නාමය වන ‘ලක් ගොවිජන පොහොර’ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස විශිෂ්ට අනුග්‍රහයක් සහිතව ඉදිරිපත් වී ඇත.
“අපි ආරම්භයේ සිටම වැවිලි කර්මාන්තය සමඟ සමීපව කටයුතු කරනවා. වගකිවයුතු සන්නාමයක් ලෙස, අපි සැමවිටම අපගේ වෙළඳ හවුල්කරුවන්ට ඔවුන්ගේ සමාජීය ප්රයත්නයන් සඳහා සහාය වීමට සූදානම්ව සිටිනවා. වැවිලිකරුවන් අතර කීර්තිමත් ක්‍රීඩා ඉසව්වක් වන වැවිලිකරුවන්ගේ සත් සාමාජික රග්බි තරගාවලියට මුල්‍ය ආධාර ලබාදීමට අප තීරණය කළේ මේ නිසායි” යනුවෙන් ලක් ගොවිජන පොහොර සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර මිගාර මීගහකුඹුර මහතා ප්‍රකාශ කළේය.
තලවකැලේ, කැලණි මිටියාවත, ඇල්පිටිය, හැටන්, බගවන්තලාව, මතුරට, මල්වත්ත නිම්නය, බලංගොඩ, මස්කෙළිය, කොටගල සහ ආගරපතන ඒකාබද්ධ (Lankem), කෑගල්ල සහ නමුනුකුල ඒකාබද්ධ (Arpico) සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි යන ප්රමුඛ පෙළේ වැවිලි සමාගම්වල කණ්ඩායම් 12 ක් මෙම තරගාවලියේ 20 වැනි වාරයට සහභාගි වෙති. මෙම කණ්ඩායම් සියල්ලෝම අතීතයේ සිටි ප්රමුඛ පෙළේ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත වන අතර කොලොම්බියා ශූරතාවලිය ලබා ගැනීමට තරඟ වදින ප්‍රාදේශීය වැවිලි සමාගම්වල විශාල සහයෝගයක් ලබා දෙන්නන් වේ.
ඉතා ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ වැවිලිකරුවෙකු සහ ක්‍රීඩා ප්‍රවර්ධකයෙකු වන මංජුල සමරකෝන් මහතා මෙවර තරඟාවලියේ කැඳවුම්කරු ලෙස කටයුතු කරයි.
DMCC යනු වැවිලිකරුවන් සඳහා ක්‍රීඩා සහ විනෝදාස්වාදයේ ජනප්‍රිය මධ්‍යස්ථානයකි. සමාජය 1870 ආරම්භයේ සිට වසර 152 ක අඛණ්ඩ මෙහෙයුම් සිදුකරන අතර 2003 දී ආරම්භ කරන ලද වාර්ෂික ‘Inter Plantation Rugby 7s’ ද සංවිධානය කරයි.
ලක් ගොවිජන පොහොර සමාගම 1990 වසරේ ආරම්භයේ සිටම හොඳම තත්ත්වයේ පොහොර සපයන වතු සමාගම්වල සමීප සගයකු වී ඇත. සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ වශයෙන් A. P. බාලෂන්මුගම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සමාගම තිරසාරභාවයට සම්බන්ධ නවීන ඉලක්ක සපුරාලන නිෂ්පාදන සැපයීමට උත්සාහ කරයි.


Video Story