ලයිකා මොබයිල් වෙතින් යාපනය විශ්වවිද්‍යාලයට රු. මිලියන 740ක සයමහල් ගොඩනැගිලි පරිත්‍යාගයක්

    March, 28, 2019

    1979 දී පළමු ශිෂ්‍ය කණ්ඩායම ලෙස සිසුන් 65ක් ඇතුළත් කරගනිමින් ආරම්භ කරන ලද යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වර්තමානයේ සිසුන් 937ක් ඉගෙනුම ලබන පීඨයක් ලෙස වර්ධනය වී තිබේ.

     

    මේ වන විට බහු ජනවර්ග සංයුතියකින් යුක්තව වාර්ෂිකව ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව වර්ධනය වී තිබුණද එයට සමගාමීව ඔවුන්ට පහසුකම් සැලසිය හැකිවන පරිදි දේශනශාලා, විද්‍යාගාර, පන්තිකාමර, නේවාසික ඉඩ පහසුකම් යනාදී යටිතල පහසුකම් වර්ධනය වීම සිදු වී නොමැත.

     

    ශ්‍රී ලංකාවේ ඥානම් පදනම හරහා රුපියල් මිලියන 740ක ආයෝජනයක් සහිතව නවීන පහසුකම් සහිතව වර්ග මීටර 6,500ක සය මහල් ගොඩනැඟිල්ලක් ඉදි කර යාපනය විශ්ව විද්‍යාලය වෙත පරිත්‍යාග කිරීමට එක්සත් රාජධානියේ ලයිකා සමූහ ව්‍යාපාරය එකඟ වී තිබේ.

     

    ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහ එයට අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.