ලිහිසිතෙල් කර්මාන්තය ලිහිල් කරන්න කැබිනට් අනුමැතිය

    August, 24, 2016

    මේ වන විට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව හා ලංකා ඉන්දීය තෙල් සමාගම ඇතුළු ආයතන 13ක් ශ්‍රී ලංකාවේ ලිහිසිතෙල් කර්මාන්තය තුළ රැඳී සිටියි. නමුත් ලිහිසිතෙල් කර්මාන්තයට ඇතුළත් වීම සඳහා නව බලපත්‍ර නිකුත් නොකිරීම, 2006 වර්ෂයේ සිට අර්ධ වාර්ෂික ලියාපදිංචි හා බලපත්‍ර ගාස්තු සංශෝධනය නොකිරීම, ස්වාධීන නියාමනකරුවෙකු නොසිටීම වැනි ගැටලු හේතුවෙන් ලිහිසිතෙල් කර්මාන්තයේ සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ලිහිසිතෙල් වෙළෙඳපොළ තුළ ඵලදායී‍ තරඟකාරීත්වයක් සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, ඉදිරිපත් කරන ලද 2016 අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාළව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද සංදේශයේ අඩංගු පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

    (i) ලිහිසිතෙල් කර්මාන්තයට අලුතින් ඇතුළත් වීමට කැමැත්තක් දක්වන අයට බලපත්‍ර ලබා දීම සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය‍ මඟින් අයදුම්පත්‍ර කැඳවීම;

    (ii) අර්ධ වාර්ෂිකව ගෙවනු ලබන ස්ථාවර ලියාපදිංචි / බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 1 සිට රුපියල් මිලියන 2 දක්වාද උපරිම ලියාපදිංචි ගාස්තුව රුපියල් මිලියන 5 සිට රුපියල් මිලියන 6 දක්වාද වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීම;

    (iii) ආනයනික හා දේශීය වශයෙන් මිශ්‍ර කරන ලිහිසිතෙල් සඳහා ජාතික මට්ටමේ තත්ත්ව සහතික නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට උපදෙස් දීම;

    (iv) ලිහිසිතෙල් කර්මාන්තයේ නියාමනකරු ලෙස කටයුතු කිරීමට හැකිවනු පිණිස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වෙත බලතල පැවරීම;

    (v) ලිහිසිතෙල් නිෂ්පාදන උසස් ප්‍රමිතියකින් මහජනතාව වෙත ලබා දීමට අවශ්‍ය වන නීතිරීති බලාත්මක කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දීම;

    (vi) ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන උපදෙස් මාලාවන් දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රේගුවට සහ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවට උපදෙස් දීම.