ලිහිසි තෙල් මිශ්‍ර කරන්න මැලේසියානු සමාගමක් කොළඹට

    October, 16, 2014

    ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග මේ වනවිටත් මෙරට ලිහිසි තෙල් අලෙවි කරන මැලේසියාවේ Hyrax Oil Sdn. Bhd සමාගම ඩොලර් මිලියන 10 ක් ආයෝජනය කරමින් ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙරට ආරම්භ කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව මැලේසියාවේ ආනයන අපනයන බැංකුවේ (EXIM Bank) ප්‍රධානියා කොළඹදී කියයි.

    මැලේසියාවේ ආනයන අපනයන බැංකුවේ (EXIM Bank) සභාපති, ඩාටෝ අඩිස්සඩිකින් අලි (Dato’ Adissadikin Ali) පැවසුවේ මේ සම්බන්ධයෙන් මෙරට බළධාරීන් සමග සාකච්ඡා කළ බවත් සමාගම විසින් මෙම කර්මාන්ත ශාලාව කොළඹ පිහිටුවන බවයි.

    ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට පසුගිය මැයි මාසයේදී කැබිනට් අනුමැතිය ලැබුණු අතර මේ සඳහා මැලේසියානු සමාගම සමග ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආයෝජනය කරයි.

    මේ තුළින් නිපදවන නිෂ්පාදන දේශීය වෙළඳ පොළට අමතරව අපනයනය කිරීමටද සැලසුම් කර ඇත.

    ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳ පොළ තවදුරටත් පුළුල් කරමින් ලිහිසි තෙල් අලෙවිය සඳහා අළුතින් තවත් සමාගම් 15 සිට 20 ක් දක්වා ප්‍රමාණයකට අවස්ථාව ලබාදීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය සූදානම් වේ.

    මේ වනවිට, මෙරට වෙළඳ පොළේ ලිහිසි තෙල් අලෙවිකරන සමාගම් 13 ක් තිබෙන අතර අළුතින් වෙළඳ පොළට පිවිසීම සඳහා සමාගම් 20 ක් පමණ අයදුම් පත් ලබාදී තිබේ.

    කෙසේවෙතත්, පසුගිය කාලයේදී කොළඹ තිබූ සමුළුවකදී අදහස් දැක්වූ ලංකා ඉන්දීය තෙල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වූ සෞමන් ගන්ගුලි මහතා පැවසුවේ ඉතාමත් කුඩා ලිහිසි තෙල් වෙළඳ පොළක් තිබෙන ලංකාවේ ලිහිසි තෙල් වෙළඳාම සඳහා මෙතරම් සමාගම් ගණනකට අවස්ථාව ලබාදීම නිසා එම සමාගම්වල ව්‍යාපාරික කටයුතු කරගෙන යාම අපහසු වනු ඇති බවයි.

    ඉතාමත් දැවැන්ත වෙළඳ පොළක් තිබෙන ඉන්දියාවේ ලිහිසි තෙල් කර්මාන්තය තුළත් සිටින්නේ සමාගම් 25 ක් පමණක් බව ඔහු මෙහිදී පැවසීය.
    ඔහුගේ තවත් තර්කයක් වූයේ මෙරට ලිහිසි තෙල් කර්මාන්තයේ නිසි නියාමනයක් නොමැතිවීම නිසා මෙවැනි විශාල සමාගම් ගණනක් කුඩා වෙළඳ පොළක් වෙනුවෙන් තරග කිරීමේදී බාල නිෂ්පාදන වෙළඳ පොළට නිකුත් විය හැකි බවයි.

    මීට අමතරව, ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් කර්මාන්තයේ සිටින්නේ සමාගම් දෙකක් සහ විදුලි සංදේශ අංශයේද සිටින්නේ සමාගම් දහයකට අඩු ගණනක් බව හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.