ලොකුම සමාගම් ලැයිස්තුව අලුත් වෙයි. ජෝන් කීල්ස් අභිබවා CTC අංක 1 ට

    August, 22, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් වර්ගීකරණයට අනුව වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් විශාලම සමාගම් ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ලංකා දුම්කොළ සමාගම (Ceylon Tobacco Company PLC) සමත් වී තිබේ. ඒ මෙතෙක් අංක එකේ සිටි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී අභිබවා යමිනි.

    ඊයේ (21) දිනයේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී ලංකා දුම්කොළ සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 243.67 ක් ලෙසින් වාර්තා විය. මේ අනුව සමස්ත කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් 9.33% කට ලංකා දුම්කොළ සමාගම හිමිකම් කියනු ලබයි. දුම්කොළ සමාගමේ කොටසක මිල මේ වන විට රු. 1,300 සීමාව ඉක්මවා තිබේ. 2018 ජූනි 30 න් අවසන් මූල්‍ය කාර්තුවේ දී සමාගමේ බදු පසු ලාභය 47% ක දැවැන්ත වර්ධනයක් වාර්තා කිරීමත් සමඟම සමාගමේ කොටස් මිල මෙලෙස ඉහළ යන ලදී.  වසර ආරම්භය හා සැසඳීමේ දී ලංකා දුම්කොළ සමාගමේ කොටසක මිල වසරේ මේ දක්වා කාලය තුළ දී 30% කින් වර්ධනය වී ඇත.

    මෙම ලැයිස්තුවේ අංක 2 ට පත්ව ඇති ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී රු. බිලියන 192.17 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන්නේ මුළු වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් 7.36% කට හිමිකම් කියමිනි. මීට පෙර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමස්ත කොටස් වෙළෙඳපොළෙන් 8% ක් ඉක්මවූ ප්‍රමාණයකට හිමිකම් කියනු ලැබූ අතර පසුගිය මූල්‍ය කාර්තුවේ දී සමාගමේ ලාභය 26% කින් පහළ වැටීමත් සමඟම කොටස් මිල ද රු. 138.50 දක්වා පහත වැටීම හේතුවෙන් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය මෙලෙස පහත වැටී තිබේ. 2018 ජනවාරි මුල් සතියේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි කොටසක් සඳහා පැවති ගනුදෙනු මිල මේ වන විට 16% කින් පහත ගොස් ඇත.

    මෙම ලැයිස්තුවේ තෙවන හා සිව්වන ස්ථාන පිළිවෙලින් කොමර්ෂල් බැංකුවට හා ඩයලොග් ආසියාටා සමාගමට හිමිව ඇති අතර අදාළ වර්ගීකරණය අනුව වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 100 සීමාව ඉක්මවා ඇත්තේ මෙකී සමාගම් 4 පමණි.

    වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් 20 පහත දැක්වේ. (2018 අගෝස්තු 21 දින අවසන් ගනුදෙනු මිල අනුව මෙම ගණනය කිරීම් සිදුකර ඇත.)