ලෝක බැංකුවේ “Doing Business“ වලින් ලංකාව තවත් පහළට

    October, 29, 2014

    ව්‍යාපාර කිරීමට සුදුසුම රටවල් වර්ගීකරණය කරන ලෝක බැංකුවේ නවතම “Doing Business“ 2015 වර්ගීකරණයේදී ශ්‍රී ලංකාව 85 වන ස්ථානයේ සිට 99 වන ස්ථානය දක්වා පසුබා තිබේ.

    රටවල් 189 ක් සම්බන්ධ කරගනිමින් සිදුකර තිබෙන මෙම වර්ගීකරණයේදී ලෝක බැංකුව පවසා තිබෙන්නේ වාණිජ ක්ෂේත්‍රයේ නීතිමය කටයුතු අධිකරණ මගින් විසඳා ගැනීම සඳහා ලංකාවේදී වසර 04 ක් තරම් කාලයක් ගතවන බවයි.

    සමාගම් වලට ලංකාවේදී බදු ගෙවීම සඳහා වැඩි පිරිවැයක් යනබවද මෙම වාර්තාවේ තවදුරටත් සඳහන්ය.

    මෙම වර්ගීකරණයට අනුව 2013 වසරේදී ලංකාව 81 වන ස්ථානයේ තිබූ අතර 2014 දී එය 85 වන ස්ථානය දක්වා පහළ වැටුණි.

    ලෝක බැංකුවේ “Doing Business“ 2015 වර්ගීකරණයට අනුව ඉන්දියාවට 142 වන ස්ථානය හිමිව තිබෙන අතර පළමු ස්ථානයට පත්ව තිබෙන්නේ සිංගප්පූරුවයි.
    දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය හොංකොං රාජ්‍යයටත්, සිව්වන ස්ථානය ඩෙන්මාර්කයටත්, පස්වන ස්ථානය දකුණු කොරියාවටත් ලැබී ඇත.