ලෝ සුපතල ඇපලෝ යතුරු පැදි ටයර් මෙරට වෙළෙඳපොලට

    July, 19, 2017

    ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකකට ආසන්න වාර්ෂික ආදායමක් සහිත ටයර් නිෂ්පාදනයෙහි දැවැන්තයා වන ඇපලෝ ටයර් පුද්ගලික සමාගම යතුරු පැදි ටයර ද හඳුන්වාදීම සමඟ ශ්‍රී ලංකා වෙළෙඳපොලට සියලුම වර්ගයේ ටයර් නිෂ්පාදන සැපයීමට මේ වනවිට සමත්ව තිබේ.

    ඇපලෝ ටයර් සමාගමේ (ඉන්දියා, දකුණු ආසියා හා ඕස්ටේ්‍රලියා) අළෙවි සමූහ ප්‍රධානී රාජේෂ් දහියා සහ අයිඩියල් වීල්ස් සහ ටයර්ස් (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජගත් සමරසේකර මහත්වරුන් විසින් ඇපලෝ යතුරු පැදි ටයර නිෂ්පාදන පසුගියදා සිය පාරිභෝගිකයන් හා ව්‍යාපාරික හවුල්කරුවන් හමුවෙහි ඉදිරිපත් කරනු ලැබිණි.

    වර්ෂ 2011 පටන් සිය නිෂ්පාදන ශ්‍රී ලංකා වෙළෙඳපොලට හඳුන්වා දුන් ඇපලෝ සමාගම දිවයින පුරා පාරිභෝගිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් අත්පත්කරගත්තේය. වාර්ෂිකව දෙලක්ෂ පනස් දහස හා තුන් ලක්ෂය අතර වූ යතුරු පැදි වෙළෙඳපොලකට සිය සේවා සපයන්නට ඇපලෝ සමාගම තීරණය කළේ ඒ අනුවය. ඇපලෝ සමාගම දකුණු ආසියාවට කරන අපනයනයන්ගෙන් 20%කට වඩා මේ වනවිට සිදුකරන්නේ ද ශ්‍රී ලංකාවටය.

    ශ්‍රී ලංකාවේ මහාමාර්ග ඉන්දියානු මහාමාර්ගවලට ඉතා සමානවීම නිසා ඉතා පහසුවෙන් විවිධ ටයර් නිෂ්පාදන කාණ්ඩයන්හි ප්‍රමුඛත්වය ගැනීමට ඇපලෝ සමාගම සමත්ව ඇත. එමෙන්ම අයිඩියල් වීල්ස් හා ටයර්ස් (පෞද්) සමාගම විසින් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන ඇපලෝ ප්‍රදර්ශනාගාරයක් කොළඹ, ගාලු පාරේ සුපිරි ව්‍යාපාර පිහිටි කලාපයෙහි පිහිටා ඇත.

    සිය නිෂ්පාදන ගැන අදහස් දක්වමින් ඇපලෝ ටයර් සමාගමේ ආසියා පැසිපික් මැද පෙරදිග ඕස්ටේ්‍රලියානු හා අප්‍රිකානු කලාපයේ සභාපති සතිෂ් ෂර්මා මහතා පැවැසුවේ “ ශ්‍රී ලංකාව අනාගතයේ ඉහළ ආර්ථිකයක් සහිත රටක් වියහැකි මෙන්ම 2016 දී රටෙහි විදේශ සෘජු ආයෝජන ආසන්න වශයෙන් 150%ක් වීම සමඟ ලංකාවට අපේ අවධානය වැඩිකිරීමට අවස්ථාව එළැඹ ඇතැයි අපි සිතනවා. දිනෙන් දින වර්ධනය වන රථවාහන වෙළෙඳපොලෙහි විශේෂයෙන්ම යතුරුපැදි කෙරෙහි අපේ අවධානය යොමුකරමින් තිබෙනවා. විශේෂයෙන්ම ලංකාවේ වාහන හිමිකරුවන්ට සිය රථවාහනවල කාර්යක්ෂමතාව උපරිම කරගැනීමට අවස්ථාව සැලැසීමට ටයර්, සේවා හා පුහුණුව විෂයෙහි අපගේ ඉන්දීය අත්දැකීම් භාවිතා කිරීමට ද අපි කටයුතු කරමින් සිටිනවා.” යනුවෙනි.

    ශ්‍රී ලංකාව තුළ ඇපලෝ ටයර් එකම බෙදාහරින්නා වන අයිඩියල් වීල්ස් සහ ටයර්ස් පුද්ගලික සමාගමෙහි සභාපති ධුරය නලින් වෙල්ගම මහතා දරන අතර එහි නියෝජ්‍ය සභාපතිවරයා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන අරවින්ද ද සිල්වා මහතාය. එහි දෛනික මෙහෙයුම් කටයුතු ප්‍රධාන විධායක නිලධාරි ජගත් සමරසේකර මහතා විසින් සිදුකරනු ලබයි.