වයස් මට්ටම් අනුව සේවා වියුක්ති විෂමතාවය තවදුරටත්. උසස් පෙළ සමතුන් අතර රැකියා වියුක්තිය ඉහළට

    November, 5, 2019

    2019 වසරේ පළමු භාගය තුළ දී වයස් මට්ටම් අනුව සේවා වියුක්තියෙහි විෂමතාවය සැලකිය යුතු මට්ටමක තවදුරටත් පැවතුණි.

    වයස් මට්ටම් අනුව සලකා බැලීමේ දී, අවුරුදු 30 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ සේවා වියුක්තිය පුද්ගලයන් 22,571කින් ඉහළ යෑමක් පෙන්නුම් කළ අතර අවුරුදු 25-29 වයස් කාණ්ඩයේ සේවා වියුක්ති පුද්ගලයන් 8,370 කින් ඉහළ යන ලදී.

    පෙර වසරේ පළමු භාගය හා සැසඳීමේ දී 2019 වසරේ පළමු භාගයේ දී තරුණ සේවා වියුක්තිය පුද්ගලයන් 2,081 කින් පමණක් ඉහළ යමින් අවම ඉහළ යෑම වාර්තා කරන ලදී.

    කෙසේ වුවද, පෙර වසරේ පළමු භාගය තුළ තරුණ සේවා වියුක්ති අනුපාතිකය බහළ ගිය ද එය සියයට 20.8ක කැපී පෙනෙන ඉහළ මට්ටමක පැවතුණි.

    අධ්‍යාපන මට්ටම අනුව සලකා ලැබීමේ දී අපොස උසස් පෙළ සහ ඉන් ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලද කාණ්ඩයෙහි ඉහළම සේවා වියුක්ති අනුපාතිකය වාර්තා විය.

    කෙසේ වුවද මෙම කාණ්ඩය තුළ සේවා වියුක්ති අනුපාතිකය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ සියයට 9.2 සිට 2019 වසරේ පළමු භාගය තුළ දී සියයට 8.7 දක්වා පහළ ගියේය.

    ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා සහ පවතින කුසලතා අතර නොගැළපීම්, රැකියා සඳහා අවශ්‍ය අත්දැකීම් අඩු බව, අපේක්ෂිත සහ සැබෑ වේතන මට්ටම්වල ඇති වෙනස්කම් සහ ඇතැම් වෘත්තීන්වල පවත්නා ස්ත්‍රී පුරුෂ විෂමතාවය, ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයන්ගේ සේවා වියුක්ති අනුපාතිකය ඉහළ අගයක් ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

    අපොස සාමාන්‍ය පෙළට අඩු සුදුසුකම් සහිත පුද්ගලයන්ගේ සේවා වියුක්ති අනුපාතිකය 2018 වසරේ පළමු භාගය තුළ පැවති සියයට 3.2 සිට 2019 වසරේ පළමු භාගය තුළ දී සියයට 3.0 දක්වා සුළු වශයෙන් පහළ ගිය අතර, අපොස සාමාන්‍ය පෙළ සමත් පුද්ගලයන්ගේ සේවා වියුක්ති අනුපාතිකය 2018 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ සියයට 5 සිට 2019 වසරේ පළමු භාගය තුළ දී සියයට 6.3 දක්වා ඉහළ ගියේය.

    සලකා බලන කාලපරිච්ඡේදය තුළ සේවා වියුක්ති ජනගහනය පිළිබඳව සලකා බැලීමේ දී අපොස සාමාන්‍ය පෙළ සමත් පුද්ගලයන් 23,303 කින් ද, අපොස සාමාන්‍ය පෙළ මට්ටමටවඩා අඩු සුදුසුකම් සහිත පුද්ගලයන් 7,702 කින් ද, අපොස උසස් පෙළ සහ ඉන් ඉහළ අධ්‍යාපන සුදුසුකම්ලාභී පුද්ගලයන් 2,018 කින් ද සේවා වියුක්ත ජනගහනය ඉහළ යන ලදී.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2019 සුවිශේෂ සිදුවීම් සහ 2020 අපේක්ෂාවන්” ප්‍රකාශනයෙහි මේ බව සඳහන් වේ.