වර්තමාන රජය විසින් ගෙන තිබෙන ඩොලර් මිලියන 6,361 ක ණය ගැන ඇත්ත මෙන්න

    April, 23, 2016

    -හර්ෂගෙන් මහින්දට පිළිතුරක්

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා දිගින් දිගටම චෝදනා කළේ වර්තමාන රජය මාස 15 ක් වැනි කාලයක් තුළ ඩොලර් මිලියන 6,361 ක විදේශ ණය ගෙන තිබෙන බවත් මෙම ණය මුදල් වලින් බෝක්කුවක් හෝ ඉදිකර නොමැති බවටයි.

    මෙම මුදල් වලින් තමන්ට මත්තල වැනි ගුවන් තොටුපොළවල් දෙකක්, හම්බන්තොට වැනි වරායක්, නොරොච්චෝලේ වැනි ගල් අඟුරු බලාගාරයක්, කොළඹ-මාතර වැනි අධිවේගී මාර්ගයක්, කොළඹ-කටුනායක වැනි අධිවේගී මාර්ගයක්, කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති දෙකක් සහ මෙගාවොට් 500 ක සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමේ හැකියාව ඇතැයි රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

    මෙම රජය රට කරගෙන යාමට අසමත් බවටත් නැවත වරක් රට බේරාගැනීම සඳහා තමන්ට බලය ලබාදිය යුතු බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    ඩොලර් මිලියන 6,361 ක ණය ගණනය කිරීම

    වර්තමාන රජය විසින් ගෙන ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරන ඩොලර් මිලියන 6,361 ක ණය මුදල ලබාගෙන තිබෙන්නේ මෙසේයි.

    01. 2015 මාර්තු මාසයේදී ලබාගත් ඩොලර් මිලියන 400 ක ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම (Currency Swap) සහ 2016 මැයි මාසයේදී ලබාගත් ඩොලර් මිලියන 1,100 ක ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම (Currency Swap). මේ අනුව, ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම් (Currency Swaps) වලින් ලබාගෙන තිබෙන මුදල ඩොලර් මිලියන 1,500 කි.

    02. 2015 මැයි මාසයේදී ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර නිකුත් කිරීම මගින් ඩොලර් මිලියන 650 ක් සහ 2015 ඔක්තෝම්බර් මාසයේදී ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර නිකුත් කිරීම මගින් තවත් ඩොලර් මිලියන 1,500 ක් ලබාගෙන තිබේ. මේ අනුව, සෛවරීත්ව බැඳුම්කර නිකුත් කිරීම මගින් ලබාගෙන තිබෙන ණය මුදල ඩොලර් මිලියන 2,150 කි.

    03. නව රජය ක්‍රියාත්මක වූ කාලය තුළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (Sri Lanka Development Bonds) මගින් ලබාගෙන තිබෙන මුදල ඩොලර් මිලියන 2,711 ක්වේ.

    මෙම සියළු මුදල් එකට එකතු කරමින් ඩොලර් මිලියන 6,361 ක ණය වර්තමාන රජය විසින් ගෙන ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරයි. අපි මේවා එකින් එක හොඳින් විශ්ලේෂණය කර බලමු.

    ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම් (Currency Swaps)

    ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමක් (Currency Swap) යනු කුමක්ද? Swap යන ඉංග්‍රීසි වචනයේ අරුත අනුව යමින් මහ බැංකු අතර සිදුවන ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමකදී සිදුකරන්නේ රටවල් දෙකක මහ බැංකු විසින් ව්‍යවහාර මුදල් වර්ග හුවමාරු කර ගැනීමයි. මෙහිදී, මෙම බැංකු දෙක අනාගත දිනයකදී නියමිත විනිමය අනුපාතයකට සහ පොලී අනුපාතයකට මෙම ගිවිසුම අවසන් කරන බවට එකඟතාවයකට පැමිණේ. පසුගියදා ඉන්දියාව විසින් ලංකාවට ඩොලර් මිලියන 400 ක් ලබාදුන් අතර මෙම ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමට (Currency Swap) අදාළ ගිවිසුම අවසන් වනවිට යළිත් ලංකාව ලබාගත් ඩොලර් ඉන්දියාවට ලබාදිය යුතුය.

    සාර්ක් කළාපයේ සෑම රටක් සමගම ඉන්දියාව මෙවැනි ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම් ගිවිසුම් වලට එළඹී තිබෙන අතර එම ගිවිසුම් අනුව ඩොලර් මිලියන 2000 ක් දක්වා අදාළ පහසුකම්වල වටිනාකම වැඩි කිරීමේ හැකියාව තිබේ. මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ 2014 සැප්තැම්බර් මාසයේදී එවකට සිටි රජය විසින්ද චීනය සමග ඇමරිකානු ඩොලර් 1,600 ක (යුවාන් බිලියන 10 ක) ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම් ගිවිසුමකටද එළඹ ඇත.

    මෙවැනි ව්‍යවහාර මුදල් පහසුකම් කෙටි කාලීන අරමුදල් ලබාගැනීමක් ලෙස සැලකෙන අතර ඒවා ගෙවිය යුත්තේ පොලියද සමගිනි. මා දන්නා පරිදි ඉන්දියාවෙන් පසුගියදා ලබාගත් ව්‍යවහාර මුදල් පහසුකමට අදාළ පොලිය පසුව ගෙවීමට අපට අවස්ථාව හිමිවී තිබේ.

    සාමාන්‍යයෙන් මෙවැනි කෙටි කාලීන ව්‍යවහාර මුදල් පහසුකම් වලින් බොහෝ කොටසක් යොදවන්නේ තිබෙන ද්විපාර්ශවික වෙළඳ ගනුදෙනු පියවා ගැනීමට හෝ විනිමය පීඩනයෙන් මිදීම සඳහායි. ලෝකය පුරා මෙය බොහෝ තැන්වල සෑම විටම සිදුවේ. ශ්‍රී ලංකාවට අමතරව, මේ වනවිට ඇමරිකාව, කැනඩාව, යූරෝ කළාපයේ රටවල්, ස්විට්සර්ලන්තය, ජපානය, ඕස්ට්‍රේලියාව, චීනය, එංගලන්තය, ඉන්දියාව, බ්‍රසීලය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව සහ පාකිස්තානය මෙන්ම තවත් බොහෝ රටවල් විවිධ ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම් ගිණුම් වලට පිවිසී තිබේ.

    හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම් (swaps) මගින් ඉන්දියාවෙන් ඩොලර් මිලියන 1500 ක ණය මුදලක් ගෙන ඇතැයි ජනතාවට ඒත්තු ගැන්වීමටයි. නමුත්, සැබෑව මෙය නොවේ.

    2015 අප්‍රේල් මාසයේ රජය විසින් ව්‍යවහාර මුදල් පහසුකමක් මගින් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක මුදලක් ගත්තද එම මුදල් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ආපසු ගෙවා දැමීය. මෙවැනිම ව්‍යවහාර මුදල් පහසුකමක් මගින් 2015 සැප්තැම්බර් මාසයේ ලබාගත් ඇමරිකානු ඩොලර් 1,100 ක මුදල ගෙවුණු මාර්තු මාසයේදී ගෙවා දැමීමට රජය කටයුතු කළේය. මෙයින් කියවෙන්නේ මෙම පහසුකම් මගින් ලබාගත් කෙටි කාලීන මුදල් මේ වනවිටත් ගෙවා දමා තිබෙන බවයි. සාර්ක් හෝ අනිකුත් ඕනෑම ව්‍යවහාර මුදල් පහසුකම් ගිවිසුමක් යටතේ දෙරටේ මහ බැංකු දෙක එකඟතාවයට පත්වූ දින වකවානු අනුව අවසන් කර තිබෙන ව්‍යවහාර මුදල් පහසුකම් ගිවිසුමකට ඕනෑම අවස්ථාවක නැවතත් එළඹිය හැකිය. මෙම කෙටිකාලීන පහසුකම් (ණය යැයි අඬබෙර ගසන මෙම ඩොලර් මිලියන 1500 මේ වනවිටත් ගෙවා අවසන්ය) ණය යැයි ජනතාවට කියන්නට උත්සාහ කළත් කිව යුත්තේ මේවා ණය නොවන බවත් මුදල් හුවමාරු කර ගැනීමක් මෙහිදී සිදුවන බවයි.

    ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර (International Sovereign Bonds)

    අපි දැන් ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර ගැන කතා කරමු. නව රජය විසින් 2015 වසරේදී ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර නිකුත් කර ඇමරිකානු ඩොලර් මිලියන 2,150 ක් මුදලක් රැස්කර ගත්බව ඇත්තය.

    මෙරට ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කරවල ඉතිහාසය දෙස විමසන විට පෙනී යන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර නිකුත් කිරීමට පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී බවයි. යම් ඵලදායී කටයුත්තකට ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර යොදාගැනීමේ කිසිදු වරදක් නොමැත. මහින්ද රාජපක්ෂ මහතාගේ රජය 2014 වසරේදී ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර නිකුත් කර ඩොලර් මිලියන 1500 ක මුදලක් රැස්කරගෙන තිබෙන අතර අපි දන්නා ආකාරයට මෙම මුදල් සාමාන්‍ය අයවැයකරණ සහායක් සඳහා මිස මෙවැනි බැඳුම්කර නිකුතුවකින් අපේක්ෂිත අරමුණු වෙනුවෙන් යොදවා නොමැත.

    2014 වසරේදී ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර නිකුත් කිරීමට අමතරව රාජපක්ෂ මහතාගේ රජය විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම හරහා ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කර ඩොලර් මිලියන 175 ක්ද, ජාතික ඉතුරු කිරීමේ බැංකුව හරහා ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කර ඩොලර් මිලියන 250 ක්ද, රැස්කර ගන්නා ලදී. මේ අනුව, මේ වසරේදී එම රජය විසින් ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කර ලබාගත් ණය මුදල ඩොලර් මිලියන 1,925 කි.

    2013 වසරේදී රාජපක්ෂ මහතාගේ රජය විසින් සියයට 8.875 ක ඉතිහාසයේ වැඩිම පොලී අනුපාතයට ජාතික ඉතිරිකිරීමේ බැංකුව මගින් අවුරුදු 05 කින් කල් පිරෙන ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කර ඩොලර් මිලියන 750 ක ණය මුදලක් ලබාගත් අතර එකළ ලෝක වෙළඳ පොළේ පස් වසරක පදනම් පොලී අනුපාතය පැවතුණේ සියයට 1.3 ක් තරම් අඩු අගයකයි. මා එකළ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටියදී ප්‍රබල හඬක් නැගූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ආන්දෝලනාත්මක කොටස් ගනුදෙනුව සිදුවූයේද මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේදීයි. බංකොලොත් ද ෆිනෑන්ස් සමාගමේ කොටසක් මෙම ගනුදෙනුවේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් රුපියල් 49.50 කට මිලදීගත් අතර මේ වනවිට එම කොටසක් ගනුදෙනු වන්නේ රුපියල් 3.25 කට ආසන්න බාල්දු වූ මිලකටයි.

    ඇත්ත ඇති සැටියෙන් දකින ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි සත්‍ය වන්නේ වසර ගණනාවක් පුරා පැමිණි වර්තමාන ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර වැඩසටහනට විශාල වෙනස්කමක් හදිසියෙන් කළ නොහැකි බවයි. එයින් කියවෙන්නේ මෙම සෛවරීත්ව බැඳුම්කර මගින් ලබාගෙන තිබෙන ණය මගින් සිදුකළ ව්‍යාපෘති මගින් ප්‍රමාණවත් ආදායමක් ජනිත නොකරන නිසා මෙම ණය ගෙවා දැමීමට රජයට නැවත නැවතත් ණය ගැනීමට සිදුව තිබෙන බවයි. කෙසේවෙතත්, වර්තමාන රජය මෙම වැඩසටහන උපරිම අයුරින් කළමනාකරණයට කැපවී සිටින අතර ලැබෙන මුදල් ප්‍රයෝජනවත් ප්‍රාග්ධන වියදම් සඳහා යෙදවීමට අදහස් කර ඇත. මෙහි සමස්ත අරමුණ වන්නේ රජයේ සහ පුද්ගලික අංශයේ ඒකාබද්ධතාවය තුළින් සිදුවන විදේශීය සෘජු ආයෝජන වර්ධනය කරමින් ව්‍යාපෘතිවල කොටස් වලට සාපේක්ෂව ණය අනුපාතය (debt to equity ratio) අඩු කිරීමයි.

    සැඟවූ ණය හෙවත් කොලේ වසා ණය ගැනීම (The hidden loans)

    මහින්ද රාජපක්ෂ මහතාගේ රජය අපේ ණයබර අඩුවෙනවා යැයි දේශපාලන වාසි ලබාගැනීම සඳහා මරු විජ්ජාවක් කර ඇත. එනම්, දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස ලංකාවේ ජාතික ණයබර අඩු වෙනවා යැයි පෙන්වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය වැනි ආයතන යොදා ගනිමින් ඒවා හරහා ණය ලබාගෙන තිබීමයි.

    මෙහිදී, තර්කය වූයේ රජයට අයත් මෙම ව්‍යවසායන් සතුව ශක්තිමත් ශේෂ පත්‍රයක් තිබෙන නිසා මේවාට ණ ලබාගෙන ඔවුන්ටම ඒවා ගෙවා දැමිය හැකි බවයි. කෙසේවෙතත්, ඇත්ත කතාව වන්නේ මෙවැනි දැවැන්ත ණය මුදල් මෙම ආයතන වලට ගෙවා දැමිය නොහැකි බවත් අවසානයේදී එම ණය මුදල් ගෙවා දැමීමේ බරට මහා භාණ්ඩාගාරයට කර ගසන්නට සිදුව තිබීමයි. මෙම ණය ලබාගැනීමේ සිතුවිල්ල කෙතරම් අතාර්කිකදැයි පෙන්නුම් කිරීමට හොඳම උදාහරණය වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ගත් ණය මහා භාණ්ඩාගාරයට ගෙවන්නට සිදුවීමත් එය රජයට මහා බරක් වීමයි.

    පසුගිය රජය විසින් මේ ආකාරයෙන් ගිණුම් වලට ඇතුළත් නොකර ඩොලර් ට්‍රිලියනයක පමණ ණය ලබාගෙන තිබෙන බවත් ඒවා පිළිබඳව නිසි විගණනයක් කළ යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සඳහන් කළේය. මෙම ණය වලින් කොටසකට මෙම සැඟවූ ණයද ඇතුළත් වේ.

    ශ්‍රී ලංකා “සංවර්ධන බැඳුම්කර“ (Sri Lanka Development Bonds)

    පසුගිය රජය සමයේදී “සංවර්ධන බැඳුම්කර“ මගින් ලබාගත් ණය කිසිම අවස්ථාවක සංවර්ධන කටයුතු වෙනුවෙන් යෙදවූයේ නැතිබව දත්ත වලින් ඔප්පුවේ. මෙම මුදල් යෙදවූයේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මගින් ලබාගත් ණය නැවත නැවතත් ගෙවා දැමීම සඳහායි.

    ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර දේශීයව නිකුත් කරන අතර ඩොලර් වලින් ආයෝජනය කළ හැකි අය මේවා මිලදී ගනිමින් රජයට ණය ලබාදෙයි. මෙම ණය කල් පිරෙන කාල සීමාව මාස කිහිපයක සිට අවුරුදු කිහිපක් දක්වා විහිදේ. මේවා බදු රහිත පොලී ආදායමක් ලබාගැනීම වෙනුවෙන් දේශීය බැංකු සහ අනිකුත් සුදුසුකම් ලැබූ පාර්ශව විසින් මිලදී ගනී.

    පසුගිය රජය සමයේ ගත් “සංවර්ධන බැඳුම්කර“ ණය වලින් බහුතර කොටසක් ගෙවා දැමීම සඳහා වර්තමාන රජය විසින් ඩොලර් මිලියන 2,491 ක මුදලක් ලබාගැනීම සඳහා 2015 වසරේදී ශ්‍රී ලංකා “සංවර්ධන බැඳුම්කර“ නිකුත් කළ බව ඇත්තකි. 2014 වසර අවසන් වනවිට ශ්‍රී ලංකා “සංවර්ධන බැඳුම්කර“ වෙනුවෙන් ලංකාවට ඩොලර් මිලියන 2,984 ක් ගෙවිය යුතුව තිබුණි. 2016 වසරේ ශ්‍රී ලංකා “සංවර්ධන බැඳුම්කර“ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2,084 ක ණය මුදලක් තිබුණු අතර මෙම ණය ගෙවා දැමීම සඳහා එයට සමාන වටිනාකමක් සහිත ශ්‍රී ලංකා “සංවර්ධන බැඳුම්කර“ නිකුත් කිරීමට රජයට සිදුවේ.

    ව්‍යාපෘති පිරිවැය සහ ව්‍යාපෘති ණය (Project costs and project loans)

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේදී ආරම්භ කළ සුදු අලි බවට පත්වූ දැවැන්ත ව්‍යාපෘති සඳහා ඔවුන් විසින් ඉදිරිපත් කර තිබෙන පිරිවැය පිළිබඳව යම් විග්‍රහයක් කිරීම ඉතාමත් වැදගත් දෙයකි. මෙහි අරමුණ වන්නේ මෙම පිරිවැය තරගකාරීද, එම මිල ගණන් වැඩිපුර ඉදිරිපත් කර තිබේදැයි තර්ක කිරීම නොවන අතර අවශ්‍ය වන්නේ පෙන්වූ මිල ගණන් සහ ඇත්තටම වියදම් කළ මුදල අතර විශාල පරතයක් තිබෙන බව පෙන්වීමයි.

    උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය සඳහා ඩොලර් මිලියන 426 ක මුදලක් වියදම් වූ බවයි. තවමත් වැඩ ඉවර නොවූ මෙම වරාය සඳහා මේ දක්වා සත්‍ය වශයෙන්ම වැයවී තිබෙන මුදල ඩොලර් මිලියන 1,300 ක් පමණ වේ. මෙම වරායේ ඉදිකර තිබෙන කිසිම දිනක භාවිතා කර නොමැති තෙල් ගබඩා ටැංකි ඉදිකිරීම සඳහා ගිය ඩොලර් මිලියන 130 ක මුදලට අමතරව මෙම වියදම ගණනය කර ඇත.

    මෙවැනි යටිතල පහසුකම් ව්‍යාපෘති ගොඩනැගීම සඳහා වැයකර තිබෙන සම්පූර්ණ මුදල් පාහේ ලබාගෙන තිබෙන්නේ චීනයෙන් හෝ වෙනත් රටකින් ව්‍යාපෘති ණය ලෙසිනි. මෙම ව්‍යාපෘති ලැයිස්තුවට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු ව්‍යාපෘති ඇතුළත් වේ.

    මේ අනුව, වර්තමාන රජය විසින් විවිධ ණය ගෙන තිබෙන බවත් එම මුදල් වලින් බෝක්කුවක් හෝ තැනීමට මෙම රජය අසමත් වී ඇති බවටත් මහින්ද රාජපක්ෂ මහතා කරන චෝදනාව මෙම කරුණු විග්‍රහ කර බලන්නෙකුට කෙතරම් සාහසිකදැයි පෙනෙනු ඇත.

    රජයට අතිරික්ක මුදල් නොමැති හෝ රජයේ සහ පුද්ගලික ආයෝජනයක් නොමැති අවස්ථාවල රජය හිමිකාරීත්වය දරන යටිතල පහසුකම් ව්‍යාපෘති සිදුකරන්නේ දිගුකාලීන ව්‍යාපෘති ණය ලබාගැනීම මගිනි. ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම් ගිවිසුම් (swap agreements) භාවිතා කරමින් කිසිම දිනක යටිතල පහසුකම් ගොඩනැගීමේ ව්‍යාපෘති ලෝකයේ කිසිදු තැනක සිදු නොකරන අතර කෙටි කාලීන ණය පහසුකම් සපයන ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කරද ආදායම් උපයා ගැනීමට වැඩි කාලයක් ගතවන යටිතල පහසුකම් ගොඩනැගීමේ ව්‍යාපෘති සඳහා සුදුසු වන්නේ නැත. මා කලින් සඳහන් කළ පරිදි ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර යන නමේ සංවර්ධනය යන්න තිබුණාට එය සංවර්ධන ව්‍යාපෘති සඳහා කිසි දිනෙක යොදාගෙන නැත.

    උදාහරණයක් ලෙස, මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 306 ක මුදල මුලින් ලබාගැනීමට එකඟ වූයේ ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතයට සියයට 0.90 ක් (LIBOR + 0.90) එකතු කළ අනුපාතයට හෝ වර්තමානය වනවිට සියයට 1.78 ක පොලී අනුපාතයකටයි. කෙසේවෙතත්, මෙම ණය මුදලේ පොලිය සියයට 6.30 ක් ලෙස ස්ථාවර කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් පත්‍රිකාවක් යොමුකර සම්මත කරවා ගත්තේය. ඉන්පසුව හම්බන්තොට වරායේ ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් කළුගල පුපුරවා හැරීම සඳහා එම බැංකුවෙන්ම ලබාගත් ඩොලර් මිලියන 45 ක මුදල් ඇතුළුව ඩොලර් මිලියන 140 ක් පසුගිය රජය ලබාගත් අතර දෙවන අදියර සඳහා චීන එක්සිම් බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 808 ක මුදලක් රාජපක්ෂ රජය විසින් ලබාගෙන තිබුණි. පළමු අදියරේ ණය 2007 වසරේදී අත්සන් කළ අතර අවුරුදු 04 ක සහන කාලයක් සමග අවුරුදු 15 ක කාලයක් එම ණය මුදල ගෙවා දැමීම සඳහා තිබේ. මේ අනුව, මෙම ණය 2016 වසරේදීත් ගෙවා දැමිය යුතුය.

    මෙම වරායේ ඉදිකර තිබෙන තවත් භාවිතා නොකළ තෙල් ටැංකි සංකීර්ණය සඳහා වැයවූ ඩොලර් මිලියන 130 ක මුදලෙන් ඩොලර් මිලියන 76.5 ක මුදලක් චීන එක්සිම් බැංකුවෙන් ලබාගෙන තිබෙන අතර එහි ඉතිරිය ලබාගෙන තිබෙන්නේ දේශීය බැංකු මගිනි.

    මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිළිබඳ කතාවද මෙයටම සමාන වූවකි. මෙම ගුවන් තොටුපොළ සඳහා මුලින්ම චීන එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 208 ක් ගත් අතර පසුව ගුවන් තොටුපොළ වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 100 ක ණයක්ද තෙල් ගබඩා කිරීමේ පහසුකම ගොඩනැගීම සඳහා තවත් ඩොලර් මිලියන 40 ක්ද ලබාන්නා ලදී. මේ සඳහා ලබාගත් අමතර ඩොලර් 190 ක මුදල ලබාගත් මූලාශ්‍රය හෙළිදරව් කර නොමැති අතර මේවා ලබාගෙන තිබෙන්නේ ව්‍යාපෘති ණය ලෙසිනි.

    මෙයින් පැහැදිලි වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමය තුළ ගොඩනැගූ වරායට සහ ගුවන්තොටුපොළට අරමුදල් රැස්කර ගත්තේ ව්‍යාපෘති ණය වලින් මිස ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර වලින්, ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම් වලින් හෝ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වලින් නොවන බවයි. අධිවේගී මාර්ග වැනි මාර්ග ව්‍යාපෘති වුවත්, දුම්රිය මාර්ග වුවත්, ක්‍රිකට් ක්‍රීඩාංගන වුවත්, සිනමා ගම්මාන වුවත් හම්බන්තොට සිදුකෙරුණු බොහෝ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් සම්පාදනය කරගත්තේ මෙවැනි ව්‍යාපෘති ණය මගිනි.

    ව්‍යාපෘති ණය නැවත ගෙවීම (Repaying project loans)

    ව්‍යාපෘතියක් සඳහා අරමුදල් ලබාගැනීමට පෙර කළ යුත්තේ අදාළ ව්‍යාපෘතිය මගින් එම ණය ගෙවා දැමීමට ප්‍රමාණවත් ආදායමක් උත්පාදනය වනවාදැයි සොයා බැලීමයි. මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විසින් සිදුකළ යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමුකිරීමේදී අසන්නට සිදුවන්නේ මෙම ව්‍යාපෘති සඳහා ණය ගැනීමේදී ශක්‍යතා අධ්‍යනයක් සිදුකළාද යන්නයි. ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ තිබෙන දත්ත අනුව පැහැදිලි වන්නේ මේ වනවිට “සුදු අලියන්“ වී තිබෙන කිසිදු ව්‍යාපෘතියක් සඳහා කිසිදු විධිමත් ශක්‍යතා අධ්‍යනයක් සිදුකර නොමැති බවයි.

    මෙවැනි වාතාවරණයක් තුළ රජයට විකල්පයක් නොමැති අතර මෙම ව්‍යාපෘති සඳහා ලබාගෙන තිබෙන ණය පැහැර හැරීම වැලැක්වීම සඳහා විවිධ ණය උපකරණ භාවිතා කරමින් ජාත්‍යන්තර වෙළඳ පොළින් ණය ලබාගැනීමට සිදුවී තිබේ.

    මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ හම්බන්තොට වරායේ පළමු අදියර සඳහා විදේශීය ආයෝජකයින් ඩොලර් මිලියන 650 ක ආයෝජනයක් කරන බවයි.

    මෙම වරායේ පළමු අදියරේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ආයෝජන යෝජනා 27 ක් පැමිණි බවත් ඉන් 07 ක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ බවත් එකළ රට හමුවේ රජය සඳහන් කරන ලදී. මෙම ආයෝජන යෝජනා අතර සීනි පිරිපහදු කර්මාන්ත ශාලාවක්, සිමෙන්ති අඹරන සහ ඇසිරීමේ කර්මාන්ත ශාලාවක්, පොහොර කර්මාන්ත ශාලාවක්, ඛනිජ රසායනික කර්මාන්ත ශාලාවක් සහ ගබඩා සංකීර්ණ තුනක් තිබෙන බව රාජපක්ෂ රජය පැවසීය.

    මහින්ද රාජපක්ෂ මහතාට වරාය කටයුතු පිළිබඳ උපදෙස් ලබාදුන් එකළ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා පවසා තිබුණේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර සිදුකිරීමට ජාත්‍යන්තර ප්‍රජාව ආකර්ශනය කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා දක්වා තිබෙන සක්‍රීය දායකත්වය හේතුවෙන් සියළු ශ්‍රී ලාංකිකයින්ට සමෘද්ධියේ නව යුගයක් උදාවී තිබෙන බවත් වරායේ දෙවැනි අදියරේ ආයෝජන සඳහා ඩොලර් බිලියන 1.15 ක ආයෝජන සමග ආයෝජකයින් 11 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් පැමිණීමට නියමිත බවයි. මේ අනුව, 2013 වසර වනවිට මෙම වරායේ සිදුකරන ආයෝජන ඩොලර් බිලියන 1.8 ක් දක්වා ඉහළ නගිනු ඇතැයි ඔහු සඳහන් කර තිබුණි.

    කෙසේවෙතත්, තිත්ත ඇත්ත වන්නේ මෙම වරාය සඳහා මෙවැනි කිසිදු ආයෝජකයෙකු නොපැමිණීම සහ පැවසූ ආකාරයේ කිසිදු ආයෝජනයක් මෙහි සිදු නොවීමයි. වාහන ගොඩබෑම හැරුණු කොට මෙම වරායෙන් ආදායම් ලබාගැනීමේ මාර්ගයක් නිර්මාණය වී නොමැති වුවද මෙම වරාය වෙනුවෙන් ලබාගත් දැවැන්ත ණය මුදල ගෙවා දැමීමේ වගකීම රජයේ කරමත පැටවී තිබේ. මත්තල ගුවන්තොටු පොළින්ද නිශ්චිත ආදායමක් ලැබෙන්නේ නැත. ගුවන් යානාද එන්නේ නැත.

    මේ නිසා, මුලින් සඳහන් කළ පරිදි මෙම ණය පැහැර හැරීම වැලැක්වීම සඳහා මෙම රජයට නැවත නැවතත් ණය ලබාගැනීමට සිදුවී තිබේ.

    මෙම ණය මුදල් ප්‍රයෝජනයට ගැනීමේ ඇත්ත කතාව

    මෙහිදී, මා උත්සාහ කරන්නේ නව රජය විසින් බොහෝ ණය ගෙන තිබුණත් එම මුදල් මගින් කිසිදු ඵලදායී දෙයක් සිදුකර නොමැති යැයි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිවර ගෙන යන ප්‍රචාරය අමූලික බොරුවක් බව සාක්ෂි සහිතව පෙන්වා දීමටයි. සත්‍ය වන්නේ, මෙම බොහෝ යටිතල පහසුකම් ව්‍යාපෘති ගොඩනැගීම සඳහා ව්‍යාපෘති පදනමින් ලබාගෙන තිබෙන ණය මෙම ව්‍යාපෘති වලින් ප්‍රමාණවත් ආදායමක් නොමැති වුවත් නැවත නැවතත් ණය ලබාගනිමින්ම පියවීමට සිදුව තිබීමයි.

    මේ අනුව, වර්තමාන රජය විසින් විශාල ණය ප්‍රමාණයක් ගෙන තිබෙන නමුත් ඒවා මගින් බෝක්කුවක් හෝ ගොඩනගා නොමැති යැයි කියන කතාව ජනතාව නොමග යැවීම සඳහා ඉතාමත් සූක්ෂමව නිර්මාණය කළ එකකි. මේ තුළින් මහින්ද පාර්ශවය උත්සාහ කරන්නේ ඉතාමත් බාල ගණයේ දේශපාලන වාසියක් ලබා ගැනීමටයි.

    මේ ආකාරයට අපිට ඉදිරියට යන්නට පුළුවන්ද ?

    රටක් ලෙස මේ ආකාරයට අපිට කොතෙක් කලක් ඉදිරියට යා හැකිද? උත්තරය වන්නේ දිගු කාලයක් බැරිය යන්නයි. තමන්ගේම ඩොලර් උපයා ගැනීමට ශ්‍රී ලංකාව අනිවාර්යෙන්ම මගක් සොයාගත යුතුය.

    දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අපනයන ආදායම් වැඩිකර ගැනීමට රජය අනිවාර්යෙන්ම කටයුතු කළ යුතුය. මැදපෙරදිග ශ්‍රමිකයින් විසින් මෙරටට එවන ප්‍රේෂණ මුදල් මැදපෙරදිග ආර්ථික අර්බුද හමුවේ අඩුවන අතර මේ තුළින් අභියෝගය තවදුරටත් තීව්‍ර කරනු ඇත.

    පසුගිය කාලයේදී ලංකාවේ අපනයන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 34 ක සිට සියයට 14.5 ක් දක්වා අඩුවිය. ඕනෑම ස්වාධීන පුද්ගලයෙකුට වර්තමාන රජය මුහුණ පා තිබෙන අභියෝගයේ තරම අවබෝධ කර ගැනීමට මෙම දත්ත මගින් සහායක් ලැබේ.

    අනාගතය ජයගත හැක්කේ ශ්‍රී ලංකාව ලෝකය සමග එකතු කිරීමෙනි

    විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මාගේ ශක්ති ප්‍රමාණයෙන් ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය (economic diplomacy) ප්‍රවර්ධනය කිරීමට මා කැපවී සිටින්නේ දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස මෙරට අපනයන වර්ධනය කිරීමට උපරිම සහාය ලබාදීම සඳහායි. වැඩි වැඩියෙන් අපනයනය කිරීමට නම් අපි විසින් හම්බන්තොට සහ දිවයිනේ අනිකුත් පළාත්වල ආයෝජනයට කැමැත්තක් දක්වන ආයෝජකයින් කැඳවා ගත යුතුය.

    මෙරටට විදේශීය සෘජු ආයෝජන පැමිණෙන්නේ ඉහළ ධාරිතාවයකින් යුතු අපනයන වෙළඳ පොළක් ආයෝජකයින්ට තිබෙන විටයි. මේ නිසා, අපගේ වෙළඳ පොළ කළාපයේ රටවල් සමග පුළුල් කර ගැනීම ඉතාමත් වැදගත් වේ. මේ අනුව, වර්ධනය වෙමින් තිබෙන දකුණු ආසියාවේ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශයේ මෙන්ම මධ්‍යම යුරෝපයේ මධ්‍යම පන්තිය වෙත ප්‍රවේශ වීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනු ඇත. ඉතිහාසය පිරික්සීමේදී පෙනෙන්නේ උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව ලෝකය සමග ඒකාබද්ධ වෙමින් අතීතයේ කටයුතු කළ බවයි. ‍

    අපි හමුවේ වර්තමානයේ තිබෙන අභියෝගය වන්නේ නැවතත් ශ්‍රී ලංකාව මෙම කළාපයේ වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි. අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙන ආකාරයට මෙවර ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ “ආසියානු සාගර“ කළාපයේ මධ්‍යස්ථානය බවට පත්වීම සඳහායි. ශ්‍රී ලංකාව ලෝකය සමග අත්වැල් බැඳගනිමින් රජය විසින් දියත් කිරීමට යන ආර්ථික සැලසුම කඩාකප්පල් කිරීමට මේ වනවිට එක්තරා කණ්ඩායමක් කටයුතු කරන බව මා අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. කෙසේවෙතත්, ජනතාව ජයග්‍රහණය කරවීමට අභියෝග හමුවේ නොසැලී වර්තමාන රජය විසින් මෙම ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට රැගෙන යාමට කැපවී සිටී.

    - ආචාර්ය හර්ෂ ද සිල්වා