අපිට තිබුණේ අකාර්යක්ෂම වීසා සේවාවක් – ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි

    May, 6, 2024

    2012 වසරේ දී මාර්ගගතව ආරම්භ කරන ලද,  ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුල් වීමට අදාළ අනුමැතිය ලබා දෙන විද්‍යුත් සංචරණ අනුමැතිය (Electronic Travel Authorization - ETA) වැඩසටහන පසුකාලීනව, අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් යාවත්කාලීන නොවූ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ තම දෙපාර්තමේන්තුව විසින් භාවිතා කළ ETA වැඩසටහනට අනුව අංශ ගණනාවක් යටතේ යාවත්කාලීන වීම් සිදුනොවුණු බවයි.

    යල්පැන ගිය තාක්ෂණයක් භාවිත කිරීම, පද්ධතිය නවීකරණයන් සිදුකිරීමට අවශ්‍ය තාක්ෂණය නොමැති වීම, බහු භාෂා ඇමතුම් මධ්‍යස්ථාන පහසුකම් නොමැති වීම, වීසා සහ වීසා සම්බන්ධයෙන් වන අනෙකුත් සේවාවන සපයන අනෙකුත් ජාත්‍යන්තර සේවාවන් සමඟ සැසඳීමේ දී දුර්වල සේවාවක් වීම වැනි කරුණු හේතුවෙන් වීසා නිකුත් කිරීමේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉදිරි අභියෝග ජයගැනීමට බාධාවන් එල්ල වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    මේ හේතුවෙන් වඩාත් යෝග්‍ය වූ ආයතනයක් මෙම කාර්යය ඉටු කිරීම සඳහා යොදා ගැනීමේ දෙපාර්තමේන්තුවේ අභාප්‍රාය හමුවේ VFS Global ආයතනය වෙතින් ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ ද එකඟතාව මත පත්කරන ලද කමිටුවක් වෙත යොමු කෙරුණු බවත්, එහිදී හඳුනාගත් ධනාත්මක ලක්ෂණ රැසක් ඇති බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    මෙම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.