වසරේ මේ දක්වා ඩොලරය හමුවේ රුපියල 44%කින් බාල්දු වෙලා

    May, 13, 2022

    2022 වසරේ මාර්තු මස මුල සිට විනිමය අනුපාතිකයේ කැපී පෙනෙන අවප්‍රමණය වීමක් නිරීක්ෂණය කරන ලදී.

    2022 වසරේ මාර්තු මස මුල් සති්යේ දී විනිමය අනුපාතිකය තීරණය කිරීමේ දී ක්‍රමානුකූලව ගැලපීමක් සඳහා ඉඩ හැරීමේ ප්‍රතිඵලයක් ලෙස, 2022 වසරේ මාර්තු මස මුල් දක්වා එක්සත් ජනපද ඩොලරයට ශ්‍රී ලංකා රුපියල් 202-203ක්ව පැවති විනිමය අනුපාතිකය යම් අවප්‍රමාණයකට ලක් විය.

    නමුත් ඉන්පසුව, දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ ඉහළ පීඩනය හේතුවෙන් ඇති වූ වෙළෙඳපොළ ගැලපීම නිසා විනිමය අනුපාතිකය ඉහළ ප්‍රමාණයකින් අවප්‍රමාණය විය.

    ඒ අනුව, 2022 වසරේ මැයි 12 දක්වා වූ කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.3ක අවප්‍රමාණය වීමක් වාර්තා කළේය.

    අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2022 වසරේ මැයි 12 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය විය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2022 පෙබරවාරි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.