ව්‍යාපාර ඇරඹීම පහසු කිරීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව පියවරක් පසුපසට

    November, 2, 2017

    ලෝක බැංකුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන Doing Business index දර්ශකයේ නවතම සංස්කරණය වන "Doing Business 2018″ නොබෝදා එළි දක්වා ඇත. රටවල් 190 ක් ඇසුරින් සිදුකර ඇති මෙම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව 111 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ පසුගිය වසරේ ශ්‍රී ලංකාව සිටි 110 වැනි ස්ථානයෙහි සිට එක් ස්ථානයක් පසුපසට යමිනි.

    කෙසේ වෙතත් පසුගිය වසරේ දී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් සිදුකරනු ලැබූ අයවැය කතාවේ දී ප්‍රකාශ වූයේ 2015 වසරේ දී ව්‍යාපාර ආරම්භ කිරීමට පහසු කිරීමේ දර්ශකයේ 110 වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව, 2018 වසර වන විට මෙම දර්ශකයේ ඉහළම රටවල් 70 අතරට පැමිණීමට අළුශය ක්‍රියාමාර්ග හා ක්‍රමෝපායන් රජය විසින් ගනු ලබන බවයි. එහෙත් සිදුව ඇත්තේ සිටිය තැනින් ද තවත් පියවරක් පසුපසට යාමයි.

    පහත දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් 2017 අයවැයේ දී ප්‍රකාශයට පත් වූ යෝජනාවන් පහත දැක්වේ.

    මෙම වර්ගීකරණය සිදුකිරීමේ දී ව්‍යාපාරයක ජීව කාලයට බලපානු ලබන අංශ 11 ක් කෙරෙහි අවධානය යොමුකරනු ලබයි.

    එනම්,

    1. ව්‍යාපාරයක් ඇරඹීම
    2. ඉදිකිරීම් අනුමැති ලබාගැනීම
    3. විදුලිය ලබා ගැනීම
    4. දේපළ ලියාපදිංචිය
    5. ණය ලබා ගැනීම
    6. කුඩා පරිමාණ ආයෝජකයින්ගේ සුරක්ෂිතභාවය
    7. බදු
    8. දේශසීමා අතර වෙළෙඳාම
    9. බලාත්මක ගිවිසුම්
    10. වස්තුභංගත්ව විසඳුම්
    11. කම්කරු වෙළෙඳපොළ නියාමනය

    දකුණු ආසියාතික කලාපය සැලකීමේ දී මෙම දර්ශකයේ දැවැන්ත පියවරක් ඉදිරියට තැබීමට ඉන්දියාව සමත් වී සිටී. ඒ 130 සිට 100 වැනි ස්ථානය දක්වා ඉදිරියට යමිනි. එසේම ඉන්දියාවට අමතරව මෙම දර්ශකයේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටීමට භූතානය (75) හා නේපාලය (105) සමත්ව ඇත. එමෙන්ම මෙම වර්ගීකරණයේ ශ්‍රී ලංකාවට පසුපසින් සිටින රටවල් ලෙසින් මාලදිවයින (136), පකිස්තානය (147), බංග්ලාදේශය (177) හා ඇෆ්ගනිස්ථානය (183) දැක්විය හැකිය.