ව්‍යාපාර කිරීමේ විශ්වාසය බිඳ වැටිලා – සමීක්ෂණයකින් හෙළිවෙයි

    July, 11, 2016

    ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ගේ විශ්වාසය මේ වන විට හීනවෙමින් පවතින බව වාර්තා වේ. මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන LMD විසින් මෙහෙයවන ලද සමීක්ෂණයක් තුළින් මේ බව අනාවරණය වී ඇත.

    මෙම සමීක්ෂණයට අනුව පසුගිය ජූනි මානය තුළ දී LMD-Nielsen ව්‍යාපාරික විශ්වස්‍යතා දර්ශකය (LMD-Nielsen Business Confidence Index - BCI) මැයි මාසයේ අගය වූ 141 සිට 126 දක්වා පහළ බැස තිබෙන අතර, පසුගිය මාස 12 ක කාලය තුළ වාර්තා වූ අඩුම අගය ලෙසින් මෙය වාර්තා වී ඇත. පූර්ව මාස 12 ක කාලපරිච්ඡේදය තුළ මෙම දර්ශකයෙහි සාමාන්‍ය අගය 155 ක් ලෙසින් වාර්තා වන අතර අධ්‍යයනය සිදුකරන ලද මේ දක්වා සම්පූර්ණ කාලයට එහි සාමාන්‍ය අගය 130 ක් ලෙසින් ගණනය කර තිබේ.

    LMD අධ්‍යයනයට අනුව 2014 පෙබරවාරි මාසය තුළ දී LMD-Nielsen ව්‍යාපාරික විශ්වස්‍යතා දර්ශකය 124 දක්වා පහළ ගොස් තිබේ. ඊට හේතු වශයෙන් එහි සඳහන් වන්නේ එම වකවානුවේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඉදිරිපත් වූ යෝජනාව හා පළාත් සභා මැතිවරණය හේතුකොට ගෙන ඇති වූ දේශපාලන හා ආර්ථික වාතාවරණයයි.

    Nielsen කළමනාකාර අධ්‍යක්ෂ ශහීන් කාදර් උපුටා දක්වමින් LMD සඟරාව කියා සිටින්නේ උද්ධමනය හා වැට් බදු හේතුකොට ගෙන ඇති ව්‍යාකූලත්වය හමුවේ ආර්ථික හා අනාගත ව්‍යාපාරික කාර්යසාධනය පිළිබඳ මෙහිදී අවධානයට යොමුව ඇති බවයි.

    මසකට වරක් එළිදැක්වෙන මෙම සමීක්ෂණ වාර්තාව මගින් පවතින ආර්ථික වටපිටාව පිළිබඳ ව්‍යාපාරිකයින් තුළ ඇත්තේ මිශ්‍ර ආකල්පයක් බව වාර්තා වේ.

    මෙම අධ්‍යයනයට අනුව අංශ කිහිපයක් යටතේ විමසීම් සිදුකර ඇති අතර ඒ සඳහා ලැබණු ප්‍රතිචාර කිහිපයක් පහත දැක්වේ.

    මීළඟ මාස 12 තුළ ආර්ථිකය පිළිබඳ ඔබේ අපේක්ෂාවන්
    වර්ධනය වේ - 34%
    එසේමයි - 30%
    අයහපත් වේ - 36%

    මීළඟ මාස 12 තුළ ඔබේ සමාගමේ අලෙවි පරිමාව,
    හොඳ අතට හැරේ - 45%
    එසේමයි - 37%
    අයහපත් වේ - 18%

    පසුගිය වසරට සාපේක්ෂව ඔබේ ව්‍යාපාරයේ අලෙවිය
    වර්ධනය වී ඇත - 31%
    එසේමයි - 40%
    පහළ ගොස් ඇත - 29%

    මීළඟ මාස තුන තුළ අලෙවිය පිළිබඳ ඔබේ අපේක්ෂාව
    හොඳ අතට හැරේ - 33%
    වෙනසක් නැත - 42%
    අයහපත් වේ - 25%

    2016 ජූනි මාසයෙන් අවසන් මාස 12 ක කාලපරිච්ඡේදයක් තුළ දී වාර්තා වී තිබුණු LMD-Nielsen ව්‍යාපාරික විශ්වස්‍යතා දර්ශකයෙහි දළ විශ්ලේෂණයක් පහත දැක්වේ. මෙම කාලපරිච්ඡේදය තුළ වාර්තා වුණු ඉහළම අගය වූ 204 පසුගිය 2015 සැප්තැම්බර් මාසයේ දී වර්තා වූ අතර අවම අගය වූ 126 වාර්තා වූයේ පසුගිය ජූනි මාසයේ දීය.