ව්‍යාපාර වැඩිදියුණු කරගැනීමේ සහ ඉතිරි කිරීමේ බලාපොරොත්තු ඉහළ ගියත් දූෂණය අඩුවන බලාපොරොත්තු පහළට ඇදේ

    June, 30, 2017

    ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 අප්‍රේල් මාසය

    ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 අප්‍රේල් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.

    රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව -

    ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2017 අප්‍රේල් මාසයේ දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙන බවයි.

    තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී වර්ධනය වී තිබුණ නමුත් එය පසුගිය මාර්තු මාසයේදී පහළ ගොස් තිබුණි. මෙම අපේක්ෂාව 2016 දෙසැම්බර් මාසයේ සිට අඛණ්ඩවම පසුගිය පෙබරවාරි මාසය දක්වා ඉහළ ගැන තිබුණු පසුබිමක මාර්තු මාසයේදී පහළ වැටීම කැපී පෙණුනි.

    පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට උද්ධමනය 8.2% ක් දක්වා වර්ධනය වී තිබුණු අතර එය පසුගිය මාර්තු මාසය වනවිට 8.6% ක් දක්වා තවදුරටත් වර්ධනය වුවත් එය නැවතත් පසුගිය අප්‍රේල් මාසය වනවිට 8.4% ක් දක්වා අඩුවිය. විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේදී පෙනෙන්නේ 2017 ජනවාරි සහ පෙබරවාරි මාසවල පහළ ගිය අපනයන ආදායම් මාර්තු මාසය වනවිට නැවතත් වර්ධනය වීමයි. මේ අනුව, 2017 මාර්තු මාසයේදී මෙරට අපනයන ආදායම 2016 මාර්තු මාසයේ අපනයන ආදායමට සාපේක්ෂව 9.8% කින් වර්ධනය වී තිබේ. නමුත්, 2017 මාර්තු මාසයේදීත් වෙළඳ ගිණුමේ හිඟය පුළුල්වීම, සංචාරක ඉපැයීම් පහළ යාම සිදුවූ අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාවන පථය අළුත්වැඩියා කටයුතු වෙනුවෙන් වසා තැබීම සංචාරකයින්ගේ පැමිණීමට බාධාවක් විය.

    මීට අමතරව, ගෙවුණු මාර්තු මාසයේදී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල ලැබීම්ද අඩුවී ඇත. මේ අතර, ගෙවුණු මාර්තු මාසයේදී කොළඹ කොටස් වෙළඳපොළ වෙතට පැමිණි විදේශීය ලැබීම් වර්ධනයවීම දකින්නට ලැබුණි.

    2015 වසරේ මාර්තු මාසයෙන් පසුව පළමු වතාවට 2017 මාර්තු මාසයේදී අපනයන ආදායම් ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගියේය. මෙම වර්ධනය සඳහා කෘෂි කාර්මික සහ කාර්මික අපනයනවල වර්ධනය හේතුවිය.

    ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව 2014 දෙසැම්බර් මාසය වනවිට 15% ක පමණ මට්ටමක තිබී 2015 ජනවාරි වනවිට 40% ක් තරම් ඉහළ මට්ටමක් දක්වා වර්ධනය වී තිබුණි. ඒ සඳහා හේතුවූයේ නව රජය බලයට පත්වන අවස්ථාවේදී ජනතාව තුළ වර්ධනය වූ ඉහළ බලාපොරොත්තුවයි. මේ පිළිබඳව පහත ප්‍රස්ථාරය මගින් තවදුරටත් කරුණු අවබෝධ කර ගත හැකිය.

    2017 අප්‍රේල් මාසයේදී තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීමේ අපේක්ෂාව ඉහළ යාම කෙරෙහි මෙම කාරණා අඩු වැඩි වශයෙන් බලපාන්නට ඇත.

    ඉතිරි කිරීමට තිබෙන හැකියාව

    ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාව 2017 අප්‍රේල් මාසයේදී ඉහළ ගොස් තිබේ.

    අඛණ්ඩවම ඉහළ ගිය උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයේදී නැවතත් පහළ ගොස් තිබීම මෙයට දායක වන්නට ඇත. (02 වන ප්‍රස්ථාරය බලන්න)

    දූෂණය අඩුවන බලාපොරොත්තු

    වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී රටේ පවතින දූෂණය අඩුවේ යැයි බොහෝ අපේක්ෂා වර්ධනය වූ අතර පසුව එය ක්‍රමයෙන් පහළ ගොස් කෝප් වාර්තාව පිළිබඳ බොහෝ වාද විවාද ඇතිවූ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එම බලාපොරොත්තු කැපී පෙනෙන ලෙස අඩුවී තිබුණි.

    2016 දෙසැම්බර් සමීක්ෂණය මගින්ද පෙනුණේ මෙම බලාපොරොත්තුව පහළ ගොස් තිබෙන ආකාරයයි. නමුත්, 2017 ජනවාරි මාසයේදී දූෂණය අඩුවේ යැයි ජනතාව තුළ තිබෙන අපේක්ෂාව යළිත් කැපී පෙනෙන ලෙස වර්ධනය වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිළිබඳව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර ඊට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමක් ජනවාරි මාසයේදී පත් කළේය.

    මෙරට දූෂණය අඩුවන බලාපොරොත්තු 2017 පෙබරවාරි මාසයේදීද ඉහළ ගියද පසුගිය මාර්තු මාසයේදී එම බලාපොරොත්තු නැවතත් පහළ ගියේය. එම ප්‍රවණතාවය තවදුරටත් ඉදිරියට යමින් 2017 අප්‍රේල් මාසයේදී මෙම බලාපොරොත්තුව තවදුරටත් පහළ බැස තිබේ.

    ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.