ව්‍යාපාර විශ්වාසය බිඳ වැටෙයි – වසර 5 ක් තුළ පහළම අගය සැප්තැම්බරයේ දී

    October, 6, 2017

    LMD සඟරාව විසින් මාසිකව ප්‍රකාශයට පත් කරනු ලබන LMD-Nielsen Business Confidence Index සමීක්ෂණ වාර්තාවට අනුව 2017 සැප්තැම්බර් මාසයේ ‘ව්‍යාපාර විශ්වාසය‘ ඒකක 99 ක් දක්වා පහළ බැස තිබේ. මෙය පසුගිය මාස 64 ක කාලපරිච්ඡේදයක් තුළ වාර්තා වූ පහළම අගය ලෙසින් සටහන් වී ඇත. මෙය පූර්ව මාසයට වඩා පදනම් අංක 22 ක විශාල අගයයකින් පහළ ගොස් තිබීම කැපී පෙනෙන කරුණකි. 2012 ජූනි මාසයෙන් පසුව 100 ට වඩා පහළ අගයයකට මෙම දර්ශකය පැමිණි පළමු අවස්ථාව මෙයයි.

    මෙම සමීක්ෂණ වාර්තාවට අනුව මීළඟ මාස 12 තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කුමන මට්ටමක පවතීදැයි යන ප්‍රශ්නයට 49% දෙනෙකුගේම මතය වී ඇත්තේ ආර්ථිකය තවත් අයහපත් අතට හැරෙනු ඇති බවයි. 9% ක් ආර්ථිකය තවදුරටත් දියුණු වනු ඇතැයි යන මතයේ සිටිනු ලබන අතර 42% ක ගේ මතය වී ඇත්තේ ඉදිරි මාස 12 තුළ ආර්ථිකය පවතින මට්ටමේ ම රැඳෙනු ඇති යන්නයි.

    මේ අතර පසුගිය වසර හා සැසඳීමේ දී සිය ව්‍යාපාරික කටයුතුවල මට්ටම පිළිබඳ 48% ක් දෙනා කියා ඇත්තේ පැවති මට්ටමේම රැඳී ඇති බවයි. සිය ව්‍යාපාරය පහළ බැස ඇති බව මෙහිදී 33% කගේ මතය වී ඇති අතර 19% කගේ මතය වී ඇත්තේ තම ව්‍යාපාරය දියුණු වී ඇති බවයි.

    තවද ඉදිරි මාස 12 කත කාලය තුළ සිය ව්‍යාපාරයේ විකුණුම් පරිමාවෙහි වෙනසක් සිදුනොවන බව 52% කගේ මතය වී ඇත. එහිදී විකුණුම්වල දියුණුවත් ඇති වන බව 22% කගේ මතය වී ඇති අතර 26% ක් කියා ඇත්තේ තත්ත්වය අයහපත් වනු ඇති බවටයි. එසේම මෙම තත්ත්වය ඉදිරි මාස තුන තුල දීද, පවතින ආකාරයෙන් තිබෙන බවට 47% ක් විශ්වාසය පළ කර තිබේ. එහිදී 19% ක් ඉදිරි මාස තුන තුළ සිය ව්‍යාපාරය පිළිබඳ සුභවාදී ස්ථාවරයක සිටිනු ලබන අතර 34% කගේ මතය වී ඇත්තේ පවතින තත්ත්වය තවත් අයහපත් අතට හැරෙනු ඇති බවයි.