වානේ, ටයර්, සිමෙන්ති කර්මාන්ත සඳහා ඩුබායි සිට ආයෝජන රැගෙන මෙරටට එන ශ්‍රී ලාංකික ව්‍යපාරිකයා මෙන්න

    March, 26, 2019

    හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ඉදිකෙරෙන සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය කරනුයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු බවත්, ඔහු ලංවා වානේ කර්මාන්ත ශාලාවේ අධිපති නන්දන ජයදේව ලොකුවිතාන නම් ව්‍යාපාරිකයා බවත්, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි. අද (25) පැවති මාධ්‍ය හමුවක දී මේ බව අනාවරණය කරමින් ඔහු වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

    “සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය කරන්නේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක්. ඔහු තමා ලංවා වානේ කර්මාන්ත ශාලාවේ අධිපතිවරයා. නන්දන ජයදේව ලොකුවිතාන කියන ව්‍යාපාරිකයා. ඒවගේම හොරණ රිජිට් ටයර් කර්මාන්ත ශාලාව සඳහාත් ඔහු තමයි ආයෝජනය කරන්නේ. ඔහු ඩොලර් මිලියන 250 ක විතර ආයෝජනයක් කරනවා. හොරණ රිජිට් ටයර් කර්මාන්ත ශාලාව වෙනුවෙන්. ඒකේ වැඩකටයුතු දැන් 70% කට වඩා අවසන් වෙලා තියෙනවා. මේ අවුරුද්දේ නොවැම්බර් - දෙසැම්බර් වෙනකොට පළවෙනි ටයරය නිෂ්පාදනය කරන්න පුළුවන් වෙයි කියලා, බලාපොරොත්තු වෙනවා.“

    “නන්දන ලොකුවිතාන මහත්මයා, ඩුබායිවල ව්‍යාපාර කරන්නේ එක්දහස් නවසිය අසූගණන්වල ඉඳලා. නිලෝනා ෆැෂන් කියන ගාමන්ට් එකෙන් තමයි එතුමා ව්‍යාපාර ආරම්භ කළේ. ඔනික්ස් ස්ටීල් කියලා සමාගමක් තියෙනවා. දැනට සමාගම් ගණනාවක් තියෙනවා. ඒවා අතුරින් මැරියට් හෝටලය කියන්නේ ඉතා කුඩා ආයෝජනයක්. “

    “මේ රජය ව්‍යාපාරිකයින්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. ඒ නිසා තමයි නන්දන ලොකුවිතාන මහත්මයලා, ඩුබායිවලින් ආයෝජන අරගෙන ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. එතුමා මේ වගේ දැවැන්ත ආයෝජන කරන්නේ, මේ රටේ අද ව්‍යාපාරිකයින්ට නිදහසේ ආයෝජනය කරන්න පුළුවන් වටපිටාවක් තියෙන නිසා.“

    “අපි මේ මුදල් රටට බොහොම විනිවිදභාවයෙන් නීත්‍යානුකූල ක්‍රමවේද තුළින් තමයි ගෙන්නලා තියෙන්නේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඒවා අධීක්ෂණය කරලා තියෙනවා.“