වාහන ආනයනයට අවසර දීම ගැන මහ බැංකුවෙන් රජයට යෝජනාවක්

    October, 14, 2021

    මෙරටට වාහන ආනයනය කිරීමේ දී ඊට අදාළ බදු සහ අනෙකුත් ගෙවීම් විදේශ විනිමය හරහා සිදුකිරීම පිළිබඳව යෝජනාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට ලිඛිතව දැනුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. වාහන ආනයනයේ දී බදු ඇතුළු අනෙකුත් ගෙවීම් විදේශ විනිමයෙන් ගෙවීම සඳහා යම් සාකච්ඡාවක් ඇති වී ඇත්දැයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අද (14) පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව අනාවරණය කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

    “මහ බැංකුව හැටියට අපේ එක කාර්යාභාරයක් තමයි මූල්‍ය ස්ථාවරත්වය හා මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය රැකගැනීම. එතනදී අපි සැලකිලිමත් වෙනවා යම් භාණ්ඩයක හෝ භාණ්ඩ කළඹක මිල වැඩිවෙන තත්ත්වයක් තිබෙනවා නම්, එතන බුබුලක් ඇති වෙනවා නම් අපි ඒ ගැන කල්පනාකාරී වෙනවා. වාහන සම්බන්ධයෙන් යම් බුබුලක් ඇති වෙන බව අපි දැන් දකිනවා. ඒ තුළින් සමහර විට අපේ පද්ධතියට යම් හානියක් සිදුවෙන්න පුළුවන් ඉදිරි කාලයේ දී. ඒ නිසා අපේ යෝජනාවක් තිබෙනවා, පිටරට මුදල්වලින් වාහන ගේන්න පුළුවන් නම්, ඊට අමතරව විදේශ විනිමයෙන් ඊට අවශ්‍ය වන බදු ගෙවීම සඳහා අපට ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් නම්, ඒ තුළින් එක පැත්තකින් අපට විදේශ විනිමය ගලාඒමක් සිදුවෙනවා. තව පැත්තකින් රටට අවශ්‍ය ඒ භාණ්ඩයත් ලැබෙනවා. හෙට අනිද්දා වෙනකොට ඒ පිළිබඳ රජයට ලිඛිතව දන්වන්න අපි බලාපොරොත්තු වෙනවා. රජයට ඒ ගැන සැලකිලිමත් වෙන්නට පුළුවන්. අපි හිතන විදියට මෙවැනි තත්ත්වයකට අපි මුහුණ දෙන්නට අවශ්‍යයි. එක පැත්තක් තියෙනවා, මිල අධික වීම, අනෙක් පැත්තෙන් ජනතාවට ඒකේ අවශ්‍යතාවයක් වීම. තව පැත්තකින් පිටරට මුදල් ලංකාවට ගලාඒමට පද්ධතියක් ඇති කිරීම වැනි සියලුම පැතිවලින් බලද්දී මේ යෝජනාවේ යම් සාධනීය භාවයක් තියෙනවා. මහ බැංකුව හැටියට යෝජනාවක් හැටියට අපිට ඒක ලබා දෙන්න පුළුවන්.“