වාහන ආනයන තහනමෙන් ජපානයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් අර්බුදයක – මුදල් ගෙවා ඇති වාහන ලංකාවට එවන්න රජයෙන් අවසර ඉල්ලයි

    December, 7, 2020

    COVID -19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ පාන්නට සිදුවුණු ආර්ථික බලපෑම් අවම කරනු වස් ආනයනික භාණ්ඩ හමුවේ සීමා පැනවීමට ශ්‍රී ලංකා රජය විසින් 2020 මාර්තු 20 දින තීරණය කරනු ලැබීය. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන ලදී.

    කෙසේ වෙතත් මෙම තීරණය හේතුවෙන් ජපානයේ වෙසෙන වාහන අපනයනයේ යෙදෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් නවතම අර්බුදයකට මුහුණ පා ඇති බව වාර්තා වේ. එනම් මාර්තු 20 වැනි දිනට පෙර මිල දී ගෙන ඇති වාහන ශ්‍රී ලංකාවට අපනයනය කර ගැනීමට නොහැකි වීමෙන් ඒවා දීර්ඝ කාලයක් වරායන් හි ගාල් කර තැබීමට සිදුව ඇති නිසා ඒ සඳහා විශාල වශයෙන් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බැවිනි. මෙම වාහන ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කර ඇති බැවින් ඒවා වෙනත් රටවල් වෙත අපනයන කිරීමේ අපහසුතා ඇති බව ද මොවුන් කියා සිටී.

    මේ ගැන දැනුම් දීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් ජපානයේ වාහන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිශාන්ත මීගල්ල මහතා මෙසේ කියා සිටියේය.

    “මේ අවුරුද්දේ මාර්තු 20 දින ශ්‍රී ලංකා රජය විසින් තාවකාලික අත්හිටුවනු ලැබූ වාහන ආනයන කිරීම් සම්බන්ධයෙන් ඇති වූ ගැටලු මේ දක්වා නිරාකරණය කරගැනීමට හැකි වී නැහැ. එකවරම පැනවූ මෙම නීතිය නිසා අප සියලු දෙනාටම වාහන වරායවල්වල තියා ගැනීමට සිදුවුණා. මාස 06කට වැඩි කාලයක් මේ වාහන වරායේ ගාල්කර තිබෙන්නේ. මේ වාහන ලංකාවට විශේෂයෙන්ම ආනයනය කිරීමට හදපු වාහන නිසා වෙනත් කෙනෙකුට විකිණීමට හෝ වෙනත් රටකට යැවීමට තිබෙන අවකාශය ඉතාම අඩුයි. අපි ළඟ සාමාජිකයින් 100 ක් පමණ ඉන්නවා. අපේ අපනයනකරුවක් කාලයක් පුරාවට උත්සාහ කරලා තමයි මේ තත්ත්වයට ඔවුන්ගේ ව්‍යාපාර ගෙනවිත් තිබෙන්නේ. මේ වෙන කොට වාහන ලංකාවට යැවීමට නොහැකි වීම නිසා ලොකු පාඩුවක් විඳින්න ඔවුන්ට සිදුවෙලා තිබෙනවා. ඔවුන්ව ආරක්ෂා කර ගන්න තිබෙන එකම ක්‍රමය රජය මේ අවස්ථාවේ දී සහනයක් ලබා දීම. මාර්තු 20ට පෙර මිල දී ගත් වාහන පමණක්වත් ශ්‍රී ලංකාවට යවන්න අපට අවසර ලබා දෙන්න. අපි තානාපති කාර්යාලයට ඒවායේ විස්තර දැනුම්දීලා තිබෙනවා.“