වැඩිපුරම බැංකු වලට ණය රාජ්‍ය ආයතන මොනවාද ? මෙන්න ලයිස්තුව

    July, 2, 2014

    රාජ්‍ය ආයතන වලින් බැංකු වලට වැඩිම ණය ප්‍රමාණයක් ගෙවිය යුතු වන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව බවත් එම ණය ප්‍රමාණය 2014 අප්‍රේල් මාසය වනවිට රුපියල් බිලියන 389 ක්වී තිබෙන බවත් අනාවරණය වේ.

    පසුගිය වසර අවසාන වනවිට ඛනිජ තෙල් සංස්ථාව බැංකු වලට රුපියල් බිලියන 419 ක් ණයවී සිටිබව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙන 2014 මාධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාවේ (MID – YEAR FISCAL POSITION REPORT 2014) දැක්වේ.

    ඉන් පසුව, බැංකු වලට වැඩියෙන්ම ණය වී සිටින්නේ ලංකා විදුලි බල මණ්ඩලයයි. විදුලි බල මණ්ඩලය 2014 අප්‍රේල් මාසය වනවිට රුපියල් බිලියන 44.3 ක් බැංකු වලට ණය වශයෙන් ගෙවිය යුතුබව මෙම වාර්තාව සඳහන් කරයි.

    පසුගිය අප්‍රේල් මාසය වනවිට, ශ්‍රී ලංකන් ගුවන් සමාගම බැංකු වලට රුපියල් බිලියන 30.1 ක්ද, ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 5.8 ක්ද, රාජ්‍ය ඖෂධ සංස්ථාව රුපියල් බිලියන 04 ක්ද ණය වශයෙන් ගෙවිය යුතුව ඇත.

    ලංකා පොහොර සමාගම මෙම කාලය වනවිට බැංකු වලට ණය වශයෙන් ගෙවිය යුතුව තිබෙන මුදල රුපියල් බිලියන 17.7 කි.

    මේ අනුව, රාජ්‍ය ආයතන 46 ක් 2014 අප්‍රේල් මාසය වනවිට බැංකු වලට රුපියල් බිලියන 500.4 ක මුදලක් ණයවී තිබෙන අතර මෙම ආයතන පසුගිය වසර අවසානය වනවිට බැංකු වලට රුපියල් බිලියන 502.9 ක් ණය වී තිබුණි.

    මෙම ණය වලින් වැඩිම ප්‍රමාණයක් රාජ්‍ය බැංකු විසින් සපයා ඇත.