ජනතාවට ණයට නොදී මහ බැංකුවේ තැන්පත් කිරීමේ බැංකුවල ගේම් එකට මහ බැංකුවෙන් ප්‍රහාරයක්

    September, 23, 2014

    මෙරට බැංකුවල ද්‍රවශීලතාවය හෙවත් අතැති මුදල් (Liquidity) ප්‍රමාණය මේ වනවිට විශාල ලෙස වැඩිවීම නිසා එම මුදල් ජනතාවට අඩු පොලියට ණයට දෙනවා වෙනුවට බැංකු පුරුද්දක් ලෙස සිදුකරන්නේ අතිරික්ත මුදල් මහ බැංකුවේ තැන්පත් කර (Standing Deposit Facility යටතේ) සියයට 6.50 ක පොලී අනුපාතයක් උපයා ගැනීමයි.

    මෙම පුරුද්ද මෙරට ආර්ථික ඉදිරි ගමනට බාධාවක් ලෙසින් හඳුනාගෙන තිබෙන මහ බැංකුව, බැංකුවල මෙම ක්‍රියාව අධෛර්යමත් කිරීමට එයට එරෙහිව ප්‍රතිපත්ති සම්පාදනය කර තිබේ.

    මේ අනුව, මේ සැප්තැම්බර් මාසයේ මුදල් ප්‍රතිපත්ති විමසුමෙන් (Monetary Policy Review) මහ බැංකුව පවසා තිබෙන්නේ වාණිජ බැංකු විසින් මහ බැංකුවේ තැන්පත් කරන අතිරික්ත ද්‍රවශීලතාවය (Excess Liquidity) වෙනුවෙන් ගෙවන පොලී අනුපාතය නැවත දැනුම් දෙනතුරු අඩුකරන බවයි.

    මේ අනුව, සැප්තැම්බර් 23 වනදා සිට වාණිජ බැංකුවක් මහ බැංකුවේ අතිරික්ත ද්‍රවශීලතාවය තැන්පත් කිරීමේදී සියයට 6.50 ක පොලී අනුපාතය මාසයකදී ගෙවන්නේ තෙවරක් පමණක් වන අතර සිව්වන වර සිට ගෙවන්නේ සියයට 5.00 ක පොලී අනුපාතයක් පමණි.

    මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.

    “මේ වනවිට, බැංකු අංශයේ තිබෙන අතිරික්ත ද්‍රවශීලතාවය (Excess Liquidity) මහ බැංකුවේ තැන්පත් කර පොලියක් ලබාගැනීම අධෛර්යමත් කර එම මුදල් මෙරට ආර්ථික ක්‍රියාවලියට ඵලදායී ලෙස ආයෝජනය කිරීමටයි මෙම පියවර ගත්තේ. බැංකු දැන් කරන්නේ අතිරික්ත ද්‍රවශීලතාවය සියයට 6.50 ක පොලිය ගන්න මහ බැංකුවේ තැන්පත් කරන එකයි.“

    මහ බැංකුව සඳහන් කර තිබෙන්නේ මුදල් ප්‍රතිපත්තිය (Monetary Policy) දිගින් දිගටම ලිහිල් කළත් පසුගිය මාස කිහිපයේදී වාණිජ බැංකු විසින් මෙරට පුද්ගලික අංශයට සැපයූ ණය ප්‍රමාණය සාමාන්‍ය මට්ටමක තිබූ බවයි.

    වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය (Policy Interest Rate) මේ සැප්තැම්බර් මාසයේදී වෙනස් කර නොමැත.