වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි අනුග්‍රහයෙන් පවුල් 300කට වියළි ආහාර ද්‍රව්‍ය පිරිනමයි

    April, 12, 2023

    ස්වර්ණාභරණ ලොව කිරුළ පැළඳි වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි සිය අඛණ්ඩ සමාජ මෙහෙවර තව දුරටත් ඉදිරියට රැගෙන යමින් වැල්ලවත්ත ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 300කට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කළේය. වැල්ලවත්ත පොලිස් ස්ථානයේ, කොළඹ නැගෙනහිර රොටරි සමාජයේ සහ LIC Lanka Limited පූර්ණ සහයෝගයෙන් ක්‍රියාවට නැගූ මෙම වැඩසටහන හරහා වියළි ආහාර ද්‍රව්‍ය ලැබීමට සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමට වැල්ලවත්ත පොලීසිය සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරු සිය සහයෝගය දැක්වූහ.

    වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි ප්‍රධාන විධායක නිලධාරී ඒ. පී. ජෙයරාජා මහතා ප්‍රකාශ කළේ සියලු දෙනාම තමන්ට හැකි අයුරින් සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ විය යුතු බවයි. එකිනෙකාට උපකාර කිරීම, සහයෝගය දැක්වීම, අසීරු අවස්ථාවලදී පිහිට වීම මානව සබඳතා වර්ධනය වීමටත්, යහපත් සමාජයක් ගොඩ නැගීමටත් හේතු වන බව ජෙයරාජා මහතා වැඩි දුරටත් පැවසීය.

    මෙහිදී අදහස් දක්වමින් වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ තමන්ට ලැබුණු මෙම පරිත්‍යාග තවත් අය සමඟ බෙදා හදා ගැනීමට හැකි නම් එය අනගි ආදර්ශයක් බවයි. වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි පරිශ්‍රයේදී පැවැති මෙම වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනට නිත්‍යකල්‍යාණි ජුවලරි කාර්ය මණ්ඩලය, කොළඹ නැගෙනහිර රොටරි සමාජයේ හිටපු සභාපති සයිෆුඩීන් මහතා, LIC Lanka Limitedහි රජිණි කාන්ත් මහතා ඇතුලු ආරාධිත අමුත්තෝ සහ ප්‍රදේශවාසීහු රැසක් සහභාගී වූහ. වසරක් පාසා වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි විසින් මෙවැනි සමාජ සේවා කටයුතු රැසක් සංවිධානය කරනු ලබන අතර පිරිසිදු පානීය ජලය සැපයීමේ වැඩසටහන්, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන්, ලේ දන් දීමේ වැඩසටහන් ආදිය ඊට ඇතුළත් වේ.