වෑගපිටිය අළුත් වැඩක් දෙයි. මූලික ආයෝජනය ඩොලර් මිලියන 6.9 ක්

    September, 1, 2014

    එල්.පී. ගෑස් ප්‍රවාහනය කරන නෞකාවක් මිලදීගැනීමට මූලිකව ඩොලර් මිලියන 6.9 ක් ආයෝජනය කරමින් නව ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ලාෆ්ස් ගෑස් සමූහය සූදානම් වනබව අනාවරණය වේ.

    මේ බව ලාෆ්ස් ගෑස් සමූහයේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතා කොළඹ කොටස් වෙළඳ පොළට හෙළිකර තිබෙන අතර මෙම ගෑස් ප්‍රවාහනය කිරීමේ නෞකාව මිලදීගැනීම සඳහා මේ වනවිට අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කර තිබේ. Gas Puffer යනුවෙන් හඳුන්වන මෙම නෞකාව Gas Challenger යනුවෙන් නම්කර එය ශ්‍රී ලංකා ධජය යටතේ ලියාපදිංචි කිරීමට සැලසුම් කර ඇත.

    වෑගපිටිය මහතා සඳහන් කරන්නේ ජාත්‍යන්තර වරාය හා සමුද්‍රීය සේවා ව්‍යාපාර වලට ඒකාබද්ධවීම සඳහා ලාෆ්ස් ගෑස් පී.එල්.සී. සමාගම ලාෆ්ස් මැරිටයිම් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් යන නාමය යටතේ සමූහයට පූර්ණ අනුබද්ධ නව ආයෝජන මණ්ඩල සමාගමක් ආරම්භ කළ බවයි.

    මේ අනුව, මෙම නව සමාගම විසින් එල්.පී. ගෑස් ප්‍රවාහනය කරන නෞකාද ඇතුළත්ව විවිධ වූ බලශක්ති නිෂ්පාදන ප්‍රවාහනය කරන විවිධ ප්‍රමාණයේ හා විවිධ වර්ගයේ නෞකා මිලදී ගැනීමට, මෙහෙයවීමට හා කුලියට ගැනීමට අදහස් කර තිබේ.