විකුණන්න තීරණය කළ ටෙලිකොම් සමාගමට ඉහළ ඉල්ලුමක්

    March, 21, 2023

    රජය සතු හිමිකාරීත්වය විකිණීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් සඳහා ආයෝජකයින්ගේ ඉහළ උනන්දුවක් අද (21) දිනයේ දී වාර්තා වී තිබේ.

    අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රු. මිලියන 236.98 ක වටිනාකමකින් යුතු කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වී ඇත.

    මෙය අද දිනයේ දී දෛනික පිරිවැටුමට වැඩිම දායකත්වය ලබා දී තිබෙන සමාගම වේ.

    එසේම දිනය තුළ දී 12.65% කින් ටෙලිකොම් කොටස් මිල ඉහළ ගොස් තිබුණි.

    ඒ අනුව දිනය අවසානයේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටසක ගනුදෙනු මිල රු. 95.30 ක් ලෙසින් සටහන් වී ඇත.

    ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී, අද වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් 5 වෙනි තැනට විශාලම සමාගම වේ.

    එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 172 කි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි රජය සතු කොටස් හිමිකාරීත්වය, රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව විකුණා දැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව ඊයේ (20) දිනයේ දී එහි ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටියේය.

    මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් හඳුන්වා දී ඇති පරිදි අදාළ කොටස් හිමිකාරීත්වය විකිණීම ඉදිරියේ දී සිදුවනු ඇති බව එහි සඳහන්ව තිබුණි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතී.