විදුලිබල පනතේ ගැටළු නිසා කුඩා ජලවිදුලි බලාගාර 18 ක් සමඟ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කර නැහැ – රාජ්‍ය ඇමති දුමින්ද

    February, 10, 2022

    ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල පනතේ, පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සංවර්ධනය කිරීමට සලසා ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් පවතින ගැටළු සහගත කරුණු හේතුවෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් අනුමැතිය නිකුත් කර ඇති සමස්ත ධාරිතාව මෙගාවොට් 19.63 ක් වන කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති යෝජනා 18 ක් සමඟින් විදුලි මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීමට නොහැකි වී තිබෙන බව සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ලද ගැටළු කිහිපයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (10) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කර සිටියේය. කෙසේවෙතත් ශ්‍රී ලංකා විදුලිබල පනතේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සංවර්ධනය කිරීමට සලසා ඇති ප්‍රතිපාදන සම්බන්ධ පවත්නා ගැටළු නිවැරදි කිරීමට දැනට කටයුතු සූදානම් කරමින් පවතින බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැනට විදුලිය මිල දී ගනු ලබන කුඩා ජල විදුලි බලාගාර සංඛ්‍යාව 214 ක් බවත් ඒවායේ සම්පූර්ණ ධාරිතාව මෙගාවොට් 424.336 ක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

    කුඩා ජල විදුලිබලාගාරවලින් විදුලිය මිල දී ගැනීමේ දී 2020 වසරේ දී ඒකකයකට රු. 15.18 ක් හා 2021 වසරේ දී ඒකකයකට රු. 15.31 ක් බැගින් ගෙවීම් සිදුකර ඇති බව ඔහු මෙහිදී පැවසීය.