විදුලි බල මණ්ඩලයට දෙපැත්තකින් වදී

    April, 2, 2014

    පවතින අධික වියලි කාලගුණ තත්ත්වය නිසා මේ දිනවල ලංකා විදුලි බල මණ්ඩලයේ ජල විදුලි උත්පාදනය සියයට 15 ක් දක්වා පහත වැටී තිබෙන බවත් සියයට 85 ක්ම විදුලිය උත්පාදනය කරන්නේ තෙල් සහ ගල් අඟුරු වලින් බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කියයි.

    ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී.ගනේගල මහතා අප සමග පැවසුවේ මේ දිනවල විදුලිය උත්පාදනය කිරීම සඳහා අධික මිලක් තෙල් සඳහා යෙදවීමට සිදුව තිබෙන නිසා පාඩුව ඉහළ ගොස් තිබෙන බවයි.

    “වැසි සමයේ අපි විදුලි උත්පාදනයෙන් සියයට 75 ක් විතරම ජලයෙන් සිදුකළා. මේ වනවිට, ඉන්ධන මගින් කරන විදුලිය උත්පාදනය වැඩිවීම නිසා විදුලි බල මණ්ඩලයේ පාඩුව වැඩිවී තිබෙනවා.“

    යනුවෙන් ගනේගල මහතා සඳහන් කළේය.

    මීට පෙර, අප වාර්තා කළේ නියඟය නිසා වායු සමීකරණ සහ විදුලි පංකා භාවිතය වැඩිවීම නිසා මෙරට විදුලිය පරිභෝජනය වැඩිවී තිබෙන බවයි.

    එක් පැත්තකින් ජල විදුලිය උත්පාදනය අඩුවන විට තවත් පැත්තකින් විදුලිය ඉල්ලුම වැඩිවීම ලංකා විදුලි මණ්ඩලයට දෙපැත්තකින්ම පීඩනය එල්ලවීමක් ලෙස සඳහන් කළ හැකිය.