විදෙස් පුරවැසි ශ්‍රී ලාංකිකයින්ට මෙරට ආයෝජනයේ දී ආකර්ෂණීය සහන පැකේජ

    February, 21, 2022

    ආයෝජන ප්‍රවර්ධනයට තානාපති කාර්යාල එක්කර ගන්නැයි රාජ්‍ය ඇමති කියයි

      • දැනට ව්‍යාපෘති පවත්වාගෙන යනු ලබන ආයෝජකයින්ට නව ව්‍යාපෘති ආරම්භ කිරීම හෝ ව්‍යාපෘති පුළුල් කිරීමේදී ආකර්ෂණීය සහන පැකේජයක්
      • විදේශ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයන් මෙරට ආයෝජනයේදී ආයෝජන ආකර්ෂණ සහන පැකේජ
      • අපනයනය ඉලක්ක කරගත් අගය එක් කළ නිෂ්පාදන ව්‍යාපෘති ආරම්භ කිරිමට අනෙකුත් අමාත්‍යාංශ හා එක් වීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සූදානම්

    මෙරට ආයෝජන අවස්ථා පිළිබදව සවිස්තරාත්ම තොරතුරු පත්‍රිකාවක් එම රටවල භාෂාවෙන්ම විදෙස් තානාපති කාර්යාලවලට
    ලොව පුරා පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා විධිමත් ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ගුවන් සේවා හා ආයෝජන කලාපසංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිලධාරීන්ට දැනුම් දෙයි.

    විවිධ රටවලින් මෙරටට ලබාගත හැකි ආයෝජනයන් පිළිබදව විමර්ෂණාත්මකව සලකා බලා එම ආයෝජන ලබා ගත හැකි පහසු ක්‍රියා මාර්ගයක් හදුන්වා දෙන ලෙසද හෙතෙම දැන්වීය. මෙහිදී සියළු ශ්‍රී ලාංකික තානාපති කාර්යාල ආයෝජන ප්‍රවර්ධනයට එක් කරගන්නා ලෙසත්, එම රටවල භාෂාවෙන් මෙරට ආයෝජන අවස්ථා ඇතුලත් සවිස්තරාත්මක පත්‍රිකා විද්‍යුත් ලිපි හා යෙදවුම් මේ සදහා භාවිතයට ගන්නා ලෙසද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අංශ ප්‍රධානින්ගෙන් ඉල්ලා සිටියේය .

    රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් ඵලකළේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අංශ ප්‍රධානින් හමුවේදිය.

    මේ වන විට රටවල් 80 ක පමණ ආයෝජකයින් විවිධ කේෂ්ත්‍රයන් හි මෙරට ආයෝජනය කර ඇත. ආයෝජන කලාප තුළත් ඉන් බැහැර වත් 1700ක් පමණ කර්මාන්ත ක්‍රියාත්මකයි. මේ තුළින් වාර්ෂිකවඇමරිකානු ඩොලර් බිලියන 7 ක ට වැඩි අපනයන ආදායමක් ශ්‍රී ලංකාව උපයයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ දී සෘජු විදේශ ආයෝජන වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම කෙරෙහි වැඩි අවදානයක් දක්වයි. මෙහිදී ශ්‍රී ලංකාවට උචිත මෙන්ම වඩාත් පහසුවෙන් හා කඩිනමින් ලබා ගැනීමට හැකි ආයෝජනයන් පිළිබද වැඩි අවධානය යොමු කළ යුතුය. ශ්‍රී ලංකාව මේ වන විටත් ඉන්දියාව,පාකිස්තානය හා සිංගප්පූරුව සමග නිදහස් වෙළද ගිවිසුම් වලට එළඹී ඇති අතර, තව තවත් නිදහස් වෙළඳ ගිවිසුම් සඳහා ද යොමුවිය යුතුය .රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති වීමත් සමග විදේශ ආයෝජකයන් හට එම රටවල වෙළඳපල වෙත පිවිසීමේ අවස්ථාව පුළුල් වේ. මෙය ආයෝජන ආකර්ෂණය ට වඩා වැදගත් වන බව ද චානක මහතා පැවසීය.

    වර්තමාන රජය යටතේ එතෙර පදිංචි ශ්‍රී ලාංකිකයින් මෙරට ආයෝජනය කෙරෙහි අවධානය යොමු කරයි. ඔවුන් මේ සදහා එක් කර ගැනීමට වෙනම වැඩ පිළිවලක් සකස් කළ යුතුයි. විදේශ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයන් මෙරට ආයෝජනයේදී ආයෝජන ආකර්ෂණීය සහන පැකේජයන් ලබා දීම පිළිබදව මෙම රැස්වීමේදී අවධානය යොමු විය.

    විදෙස් රටවල ආයෝජන තොරතුරු විශ්ලේෂණය කරමින් එම රටවල් තුලින් ලබාගත හැකි ආයෝජන අවස්ථා හදුනාගෙන අපේ තානාපති කාර්යාල හරහා ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා දන්වා සිටියේය.

    මෙහිදී ගුවන් සේවා හා ආයෝජන කලාපසංවර්ධන රාජ්‍ය අමාත්‍යාංයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය,අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් යන මහත්ම මහත්මින්ද අදහස් දැක්වූහ.