විධිමත් ක්‍රමවේදයකින් තොරව ජනාධිපති කාර්යාලයේ වාහන වෙන අයට දීලා

    June, 21, 2023

    රජයේ වෙනත් ආයතනවල අරමුණු හා පරමාර්ථ ඉටුකර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලය සතු වාහන වෙනත් ආයතන හා පුද්ගලයින් වෙත ලබා දී තිබුණ ද, එසේ ලබා දීමේ දී ආයතනයේ අරමුණු ඉටුකිරීමට බාධාවක් නොවන පරිදි හා දේපලේ ආරක්ෂාව තහවුරු වන පරිදි විධිමත් අනුමැතියකින්, විධිමත් ක්‍රමවේදයකට වාහන පවරාදීමට කටයුතු කළ යුතු වුවත්, ඒ අනුව කටයුතු කර නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

    ජනාධිපති කාර්යාලයේ 2022 වාර්ෂික කාර්යසාධන වාර්තාව ඊයේ (20) දිනයේ දී පාර්ලිමේන්තුවට පිළිගන්වා ඇති අතර ඒ පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

    එම වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    පවරා දුන් වාහනවලින් වාහන 12ක් වාහනය නිදහස් කළ දිනය දක්වා නොතිබුණි. ජනාධිපති කාර්යාලය සතු වාහන 53 ක් වෙනත් රාජ්‍ය ආයතන, විහාරස්ථාන, ආගමික නායකයින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත නිදහස් කර තිබුණි. එම වාහන අතරින් වාහන 27ක් සඳහා සමාලෝචිත වර්ෂය තුළ දී රු. 13,629,119 ක් නඩත්තු වියදම් දරා තිබුණ ද එම වියදම් ප්‍රතිපූර්ණය කර ගැනීමට හෝ කටයුතු කර නොතිබුණි.

    මේ අතර මෙම විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ, විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව 2022 වර්ෂයේ දී ඇති වූ කලබලකාරී වාතාවරණය තුළ දී ජනාධිපති ලේකම් කාර්යාලය හා කොටුව ජනාධිපති මන්දිරයේ භාණ්ඩ හා උපකරණ සහ වාහනවලට සිදුවී ඇති විගණිත දිනට තක්සේරු කර තිබුණු අලාභහානිවල එකතු වටිනාකම වූ රු. 36,675,854 ක් බව නිරීක්ෂණය වී ඇති නමුත් එය මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කර තිබූ පාඩු හා අත්හැරීම් පිළිබඳ ප්‍රකාශයෙහි හෙළිදරව් කර නොමැති බවයි.

    එසේම පැවත කලබලකාරී වාතාවරණය තුළ වාහන 22කට අලාභහානි සිදුවී තිබුණ ද එම වාහනවලින් වාහන 6ක් 2023 මාර්තු 31 දින වන විටත් අළුත්වැඩියා කර නොතිබුණු බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.