වෙන රටවල නම් රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙනවා – ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී කියයි

    April, 24, 2019

    පසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය වැනි දෙයක් වෙනත් ලෝකයේ පිළිගත් රටක සිදුවූවා නම් එහිදී එම රටේ සියලු පාලකයින් ඉල්ලා අස්වෙන නමුත්, ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් එසේ සිදුනොවන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. අද (24) දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් ෆොන්සේකා මහතා කියා සිටියේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් නිදහසට කරුණු කියා වැඩක් නැති බවත්, මෙහි වරද සියලු දෙනා පිළිගත යුතු බවත්ය.

    “ආරක්ෂක කවුන්සිලය, ආරක්ෂක ඇමති හා ආරක්ෂක ලේකම් ඒ ගොල්ලන්ගේ රාජකාරිය පැහැර හැරලා තියෙනවා. අසාර්ථක වෙලා තියෙනවා. මෝන නිදහසට කාරණා කිව්වත්, අපි ඒක පිළිගන්නේ නැහැ. ජනතාව ඒක පිළිගන්නේ නැහැ. මෙකෙන් පහර කෑවේ ජනතාව. රටේ අස්ථාවරභාවයක් ඇති වුණා. නීතිය ආරක්ෂාව ඒ මුකුත් නැතිවුණා. භීෂණයක් ඇවිල්ලා තියෙනවා. එතකොට නිදහසට කාරණා දීලා වැඩක් නැහැ.“

    “වෙන රටවල නම් රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙනවා. ලෝකයේ පිළිගත් රටක මේ වගේ දෙයක් වුණානම්, කට්ටියට අනිවාර්යයෙන් ගෙදර යන්න වෙනවා. නමුත් අපේ රටේ සාමාන්‍යයෙන් එහෙම දේවල් වෙන්නේ නැහැ. ඒක හින්දා කට්ටියට ඉන්න පුළුවන්. මේකේ වරද සියලු දෙනා පිළිගන්න ඕනේ.“