වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 5.5 ඉක්මවයි

    October, 21, 2021

    වෙළෙඳ ගිණුමේ හිඟය, 2020 වසරේ අගෝස්තු මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 342 ක හිඟයට සාපේක්ෂව, 2021 වසරේ ‌අගෝස්තු මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත එක්සත් ජනපද ඩොලර් මිලියන 586 ක් දක්වා පුළුල් විය. 2021 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ සමස්ත වෙළෙඳ ගිණුමේ හිඟය ද, 2020 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 3,812ට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 5,509ක් දක්වා පුළුල් විය.

    මුල්‍ය ලැබීම් ඉහළ යාම හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ දී දළ නිල සංචිත ඉහළ ගිය අතර, අඛණ්ඩව තුන්වන වරටත් මෙම මාසයේ දී ද වෙළඳ භාණ්ඩ අපනයන එ.ජ. ඩොලර් බිලියන 1.0 ඉක්මවිය. කෙසේ වෙතත්, භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ යාමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම ඉහළ යාම හේතුවෙන් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව වෙළඳ හිඟය පුළුල් විය. 2021 වසරේ අගෝස්තු මාසයේ දී සංචාරක පැමිණීම් පෙර මාසයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින් යම් වැඩිවීමක් පෙන්නුම් කළ අතර, මුළු සංචාරක පැමිණීම් සංඛ්‍යාව අඩු මට්ටමක පැවතුණි. 2021 වසරේ අගෝස්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල අඩු වීමක් පිළිබිඹු විය. 2021 වසරේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ.අ.) විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) වෙන්කිරීම් යටතේ ශ්‍රී ලංකාවට අදාළ කොටස අගෝස්තු මාසයේ දී ලැබුණි. තවද, 2021 වසරේ අගෝස්තු මාසයේ දී     ශ්‍රී ලංකා මහ බැංකුව සහ බංගලාදේශ බැංකුව අතර ඇති කර ගත් ද්වීපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ මූලික අදියරේ විනිමය හුවමාරු වීම සිදු විය. අන්තර් බැංකු වෙළඳපොළේ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය 2021 වසරේ අගෝස්තු මාසයේ දී සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණු අතර, මාසය අවසානයේ දී විනිමය අනුපාතිකය මත යම් පීඩනයක් නිරීක්ෂණය වීම හේතුවෙන් රුපියල ස්ථාවර කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට විදේශ විනිමය වෙළඳපොළට මැදිහත් වීමට සිදුවිය.