වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් වෙයි

    April, 4, 2022

    අඛණ්ඩව අටවැනි වරටත් අමරිකානු ජනපද ඩොලර් බිලියනය ඉක්මවූ අපනයන ආදායමක් මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් 2022 ජනවාරි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නිකුත් කර ඇති වාර්තාවේ දක්වා තිබේ.

    මෙරට අපනයන ආදායම මෙලෙස ඉහළ අගයක් පෙන්නුව ද මෙරට වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරට සාපේක්ෂව පුළුල් වී ඇත්තේ මෙරට ආනයන වියදම් අඛණ්ඩව ඉහළ යෑම හේතුවෙනි. මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ සලකා බැලීමේ දී පෙර වසරේ පනවාරී මාසයට සාපේක්ෂළු මෙම වසරේ එම මාසයේ මෙරටට පැමිණ ඇති සංචාරකින්ගේ දක්නට ලැබෙනුයේ වර්ධනයක් වුව ද, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල මන්දගාමී බවක් නිරීක්ෂණය වෙයි.

    මේ අතර ශ්‍රී ලංකාව 2022 ජනවාරි මාසයේ දී අමරිකානු ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සාර්ථකව පියවා ඇති බවට ද වාර්තා වල සඳහන්ව ඇත. තව ද දකුණූ ආසියානු කලාපීය සහයෝගිතා මූල්‍යය සංවිධානය යටතේ ඉන්දියානු සංචිත බැංකුවෙන් අමරිකානු ඩොලර් මිලියන 400ක මුදල් හුවමාරු පහසුකමක් ලැබීමත් සමඟ, මෙම වසරේ ජනවාරි මාසය තුළ ගෙවුම් ශේෂයේ මූල්‍ය ගිණුම ශක්තිමත් වී ඇත. ජනවාරි මාසයේ එක්සත් ජනපද ඩොලරයට රුපියල් 200-203 පරාසයේ පැවති අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය, 2022 වසරේ මාර්තු මස 07 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විනිමය අනුපාතිකයට වැඩි නම්‍යශීලී බවක් ලබා දීමත් සමඟ ඉහළ ගොස් ඇත.

    ආනයන විශාල වශයෙන් ඉහළ යෑමත් සමඟ වෙළඳ ගිණු‌මේ හිඟය, 2021 වසරේ ජනවාරි මාසයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 655ට සාපේක්ෂව, 2022 වසරේ ජනවාරි මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 859ක් දක්වා පුළුල් විය. කෙසේ වෙතත්, 2022 වසරේ ජනවාරි මාසයේ වෙළඳ හිඟය, 2021 වසරේ ‌දෙසැම්බර් මාසය තුළ වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 1,085ක හිඟයට සාපේක්ෂව අඩු අගයක් පෙන්නුම් කරයි. ‌මේ අතර අපනයන සහ ආනයන මිල ගණන් අතර අනුපාතය දැක්වෙන වෙළඳ මිල අනුපාතය, 2021 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2022 වසරේ ජනවාරි මාසයේ දී සියයට 18.7කින් පහළ ගිය අතර, ආනයන මිල ගණන් ඉහළ යෑමත් අපනයන මිල ගණන් පහළ යෑම මේ සඳහා හේතු වී ඇත.

    මෙරට සමස්ථ අපනයන ආදායම පිළිබඳ සලකා බැලීමේ දී 2022 වසරේ ජනවාරි මාසයේ අපනයන ආදායම, 2021 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව එ.ජ. ඩොලර් මිලියන 1,101ක් දක්වා සියයට 17.5කින් වර්ධනය වූ අතර, එය ජනවාරි මාසයක දී වාර්ථතා වූ ඉහළම අපනයන ආදායම වීමද විශේෂත්වයකි. සියලුම ප්‍රධාන කාණ්ඩවල අපනයන ඉපැයීම්වල වර්ධනයක් දක්නට ලැබුණු අතර, මෙම ඉහළ යෑම සඳහා කාර්මික අපනයන ප්‍රධාන වශයෙන් දායක වී ඇති බව මහ බැංකුව පෙන්වා දී ඇති වාර්තා මගින් දැක ගත හැක.

    ඒ අනුව ප්‍රධාන වශයෙන්, ඇඟලුම් සහ ඛනිජ තෙල් නිෂ්පාදිත ඇතුළු ‌බොහෝ කාර්මික නිෂ්පාදන කාණ්ඩවල වාර්තා වූ මෙම වැඩිවිමත් සමඟ කාර්මික භාණ්ඩ අපනයන ආදායම, 2021 වසරේ ජනවාරි මාසයට සා‌පේක්ෂව 2022 වසරේ ජනවාරි මාසයේ දී සියයට 21.6කින් ඉහළ ගියේය. එක්සත් රාජධානිය හැර සියලුම ප්‍රධාන වෙළඳපොළ ‌වෙත සිදු කළ ඇඟලුම් අපනයන වර්ධනය වී ඇත. නැව් සහ ගුවන්යානා සඳහා යොදැගනු ලබන ඉන්ධනවල මිල ගණන් සහ පරිමාවන් ඉහළ යෑම හේතුවෙන් ඛනිජ තෙල් නිෂ්පාදිත අපනයනවලින් ලද ඉපැයීම් ද ඉහළ ගොස් ඇත. තවද, පිඟන් මැටි නිෂ්පාදිත අපනයන ඉපැයීම් අඩු වුව ද, මැණික්, දියමන්ති හා සවර්ණාභරණ, මූල ලෝහ හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත, යන්ත්‍ර සූත්‍ර සහ යාන්ත්‍රික උපකරණ (ප්‍රධාන වශයෙන්, විදුලි සන්නායක සහ පරිණාමක) සහ මුද්‍රණ කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන්, මුදල් නෝට්ටු) අපනයනවල සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත.

    2022 වසරේ ජනවාරි මාසයේ දී කෘෂිකාර්මික භාණ්ඩ අපනයනයෙන් ලද සමස්ථ ආදායම, 2021 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 2.3කින් ඉහළ ගොස් ඇති අතර, ඒ සඳහා මූලික වශයෙන්, පොල් (ප්‍රධාන වශයෙන්, දිසිිදි පොල්, පොල් කෙඳි, පොල් තෙල්), මුහුදු ආහාර (ප්‍රධාන වශයෙන්, නැවුම් සහ ශීත කළ කෙළවල්ලන්) සහ සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත ‍(ප්‍රධාන වශයෙන්, පුවක්) අපනයන ආදායම ඉහළ යෑමට හේතු වී ඇත. ස්වභාවික රබර්, එළවළු සහ සකස් නොකළ දුම්කොළ ද අපනයනවල සුළු වර්ධනයක් වාර්තා වීමට හේතු වී ඇත. මේ අතර, 2022 වසරේ ජනවාරි මාසයේ දී, අපනයන පරිමාවන් සහ අපනයන මිල ගණන් පහළ යෑම හේතුවෙන් තේ අපනයන ආදායම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 9.7කින් පහළ ගොස් ඇති අතර, කුරුඳු සහ කරාබුනැටි අපනයන පහළ යෑම හේතුවෙන් කුළුබඩු අපයනයන ආදායම ද වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 16.7කින් පහළ ගොස් ඇත.

    ඛනිජ අපනයන පිළිබඳ සලකා බැලීමේ දී ප්‍රධාන වශයෙන්, ටයිටේනියම් ලෝපස්, ක්වාට්ස් සහ ස්වාභාවික මිනිරන් කුඩු අපනයන ආදායම ඉහළ යෑම හේතුවෙන් ඛනිජ අපනයන ආදායම ද, 2021 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2022 වසරේ ජනවාරි මාසයේ දී සියයට 24.0කින් ඉහළ ගොස් ඇත.

    මේ අතර අපනයන ආදායම ඉහළ යෑම සඳහා අපනයන පරිමාවන් වැඩි වශඩයන් හේතු වූ බව නිරූපණය කරමින්, 2022 වසරේ ජනවාරි මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, අපනයන පරිමා දර්ශකය සියයට 20.1කින් ඉහළ ගිය අතර, ඒකක මිල දර්ශකය සියයට 2.2කින් පහළ ගොස් තිබීම දැක ගත හැකිය.

    2022 වසරේ ජනවාරි මාසයේ වෙළඳ භාණ්ඩ ආනයන වියදම, 2021 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව පහළ ගොස් තිබුන ද, 2021 වසරේ ජනවාරි මාසදේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 1,592 හා සැසඳීමේ දී, මෙම වසරේ ජනවාරි මාසයේ ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 1,959ක් දක්වා සියයට 23.1කින් ඉහළ ගොස් ඇත. සියලුම ප්‍රධාන කාණ්ඩවල ආනයන වියදම්වල කැපී පෙනෙන වැඩිවීම් දක්නට ලැබුණු අතර එම ඉහළ යෑම් සඳහා අන්තර් භාණ්ඩ ආනයන ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

    2022 වසරේ ජනවාරි මාසයේ දී අන්තර් භාණ්ඩ ආනයන වියදම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 32.5කින් ඉහළ ගොස් ඇත. ප්‍රධාන වශයෙන්, ඉන්ධන, රෙදිපිළි සහ රෙදිපිළි උපාංග , මූල ලෝහ (ප්‍රධාන වශයෙන්, යකඩ හා වානේ), තිරිඟු සහ ප්ලිස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන්, ප්‍රාථමික ආකාරයන්හි බහුඅවයවයක) හේතුවෙන් අන්තර් භාණ්ඩ ආනයන වියදම ඉහළ ගිය අතර ‌බොර තෙල් ආනයන පරිමාවන් අඩු වුව ද, පිරිපහදු කළ ඛනිජ තෙල් (එල්.පී ගෑස් ඇතුළුව), ගල් අඟුරු ආනයන මිල මෙන්ම පරිමාවන් ඉහළ යෑම හේතුවෙන් 2022 වසරේ ජනවාරි මාසයේ දී ඉන්ධන ආනයන වියදම සියයට 38.9කින් ඉහළ ගියේය. බොර තෙල් බැරලයක් සඳහා සාමාන්‍ය ආනයන මිල, 2021 වසරේ ජනවාරි මාසයේ දී වූ එ.ජ. ඩොලර් 57.65ට සහ 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී වූ එ.ජ. ඩොලර් 85.38ට සාපේක්ෂව 2022 වසරේ ජනවාරි මාසයේ දී එ.ජ. ඩොලර් 84.09ක් විය. මේ අතර, 2022 වසරේ ජනවාරි මාසයේ දී, ආහාර සැකසුම් (මූලික වශයෙන් පාම් තෙල්), කෘෂිකාර්මික යෙදවුම් (ප්‍රධාන වශයෙන්, සත්ත්ව ආහාර), පොහොර, සහ රථවාහන හා යන්ත්‍රෝපකරණ කොටස් (ප්‍රධාන වශයෙන්, බයිසිකල් කොටස්) ආනයන වියදම පහළ ගොස් තිබීම විශේෂක්වයකි.

    2022 වසරේ ජනවාරි මාසයේ දී පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම, 2021 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 4.2කින් ඉහළ ගොස් ඇති අතර, ආහාර සහ ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ යන දෙඅංශයෙහිම ඉහළ යෑම ඒ සඳහා හේතු වී ඇත. ආහාර හා පාන වර්ග ආනයන වියදම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 1.8කින් ඉහළ ගොස් ඇති අතර, ප්‍රධාන වශයෙන් ධාන්‍ය හා ඇඹරුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන්, සහල්) ආනයනය ඒ සඳහා හේතු වී ඇති බව වාර්තා වල දැක්වෙයි. 2021 වසරේ නොවැම්බර් මාසයේ සිට 2022 වසරේ ජනවාරි මාසය දක්වා කාලපරිච්ඡේදය තුළ දී සහල් ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 119 ඉක්මවා ඇත. මේ අතර, සීනි, තෙල් සහ මේද වර්ග (ප්‍රධාන වශයෙන්, පොල් තෙල්), එළවළු (ප්‍රධාන වශයෙන්, මයිසූර් පරිප්පු), මුහුදු ආහාර (ප්‍රධාන වශයෙන්, වියළි හාල්මැස්සන්) සහ කුළුබඩු (ප්‍රධාන වශයෙන්, කොත්ත මල්ලි ඇට) ආනයන වියදම්වල අඩුවීමක් දක්නට ලැබුණි. මේ අතර, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන සියයට 6.8කින් ඉහළ ගිය අතර, මේ සඳහා බෙහෙත් සහ ඖෂධීය නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන්, එන්නත්), රෙදි පිළි හා උපාංග සහ රබර් නිෂ්පාදිත වියදම් ඉහළ යෑම හේතු වී ඇත. කෙසේ වෙතත්, 2021 වස‌රේ ජනවාරි මාසයට සාපේක්ෂව 2022 වසරේ ජනවාරි මාසයේ දී, විදුලි සංදේශ උපකරණ (ප්‍රධාන වශයෙන්, ජංගම දුරකථන), ගෘහ උපකරණ (ප්‍රධාන වශයෙන්, රූපවාහිනී යන්ත්‍ර) සහ මුද්‍රිත ද්‍රව්‍ය ආනයනය පහළ ගොස් ඇත.

    2022 වසරේ ජනවාරි මාසයේ දී ආයෝජන භාණ්ඩ ආනයන වියදම, 2021 වසරේ අනුරූප මාසයට සාපේක්ෂව, සියයට 17.2කින් ඉහළ ගිය අතර මේ සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය සහ යන්ත්‍රසූත්‍ර හා උපකරණ ආනයන සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතු වී ඇත. 2021 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2022 වසරේ ජනවාරි මාසයේ දී, ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදිත හැර, ගොඩනැගිලි ද්‍රව්‍ය යටතේ වන සියලුම උප අංශවල ආනයන වියදම් ඉහළ ගිය අතර යකඩ සහ වානේ ආනයන වියදම් ඉහළ යෑම මේ අතරින් ප්‍රධාන විය. සම්ප්‍රේෂණ උපකරණ ආනයනවල පහළ යෑමක් වාර්තා වුව ද, ප්‍රධාන වශයෙන් ටර්බයින සහ විදුලි මෝටර සහ විදුලි ජනක යන්ත්‍ර කට්ටල ආනයන ඉහළ යෑම හේතුවෙන් යන්ත්‍රසූත හා උපකරණ ආනයන වියදම ඉහළ ගියේය. ප්‍රධාන වශයෙන්, ටැංකි හා බවුසර් ආනයනය අඩුවීම හේතුවෙන් ප්‍රවාහන උපකරණ ආනයන වියදම අඩු විය.

    2022 වසරේ ජනවාරි මාසයේ දී, ආනයන වියදම ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් මිල ගණන්වල බලපෑම හේතු වූ බව නිරූපණය කරමින්, 2022 වසරේ ජනවාරි මාසයේ දී (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) ආනයන පරිමා සහ ඒකක මිල දර්ශක, පිළිවෙළින්, සියයට 2.3කින් සහ සියයට 20.3කින් ඉහළ ගියේය.