March, 2, 2020
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ කීර්තිමත් වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සිය සන්නාමය ගොඩනැගීමේ ප්රයත්නයන්හි විප්ලවීය වෙනසක් සිදු කරමින් නවතම සන්නාම වීඩියෝව වන ‘Ode to Paradise’ වීඩියෝව One Galle Face හි PVR සිනමා ශාලාවේ දී පසුගියදා එළිදැක්වීය.
‘Ode to Paradise’ නම් වූ මෙම නව නිෂ්පාදනය ‘බ්ලූ වෝටර්ස්’ තනු නිර්මාණය හරහා පැරණි මතකයන් ආවර්ජනය කෙරේ. ජැක්ලින් ෆර්නැන්ඩස්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, පීටර් කුරුවිට සහ භාතිය සහ සන්තුෂ් වැනි ශ්‍රී ලංකාවේ ජනප්‍රිය චරිත පෙළක් මෙහි නිරූපණයෙන් දායක වෙයි. මෙම වීඩියෝව මගින් දිවයිනේ බහුවිධ සුන්දරත්වය එළිදක්වයි. ශ්‍රී ලංකාවේ ආකර්ශණය ලොවට කියාපෑම මෙහිදී සිදුවන අතර ඒ සියල්ල ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රබල පසුබිම තුළ සිදුවේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේ ජාතික ගුවන් සේවය වඩාත් ඉහළ ස්ථාවරත්වයක් කරා ගෙන යාමට උත්සාහ කරන විට, ආදරණීය වෙළඳ නාමය ආරක්ෂා කරමින් ඒ සඳහා ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු බවයි. එබැවින්, මෙම සන්නාම වීඩියෝව ජාතික ගුවන් සේවයේ තවත් බොහෝ මුල පිරීම්වල ආරම්භය වනු ඇති අතර, එය දිගු කාලීනව වාණිජ හා ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාරී වනු ඇති බවද ඒ මහතා පෙන්වා දුන්හ. විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ, ආසියාවේ සහ යුරෝපයේ වඩාත්ම ආකර්ශණීය වෙළඳපොලවල් වෙත පියාසර කිරීමට සැලසුම් කරන මොහොතක, ශ්‍රී ලංකාව ආකර්ශණීය ගමනාන්තයක් ලෙස පරිවර්තනය කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සන්නාමය ස්ථාපිත කිරීමට උත්සාහ දරන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ.
‘Ode to Paradise’ විඩීයෝව තුළ ශ්‍රී ලංකාවේ අද්විතීය හා මනරම් භූ දර්ශනවල විස්මිත සුන්දරත්වය මෙන්ම ඊට ආවේනික උණුසුම් ආගන්තුක පිළිගැනීම සහ සත්කාර ක්‍රම මෙන්ම ලෝකය විස්මයට පත් කර ඇති සංස්කෘතික විචිත්රත්වය එමගින් නිරෑපණය කරයි.
මෙම අවස්ථාවට පැමිණී සිටි කීර්තිමත් පුද්ගලයින් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරමින් මෙසේ පැවසීය.

ක්‍රිකට් පුරාවෘත්තයක් වන කුමාර් සංගක්කාර මහතා, “ශ්‍රී ලාංකිකයෙකු වශයෙන්, ජාතික ගුවන් සේවයේ මෙම ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වීමට ලැබීම භාග්‍යයක්. අපි ශ්‍රී ලංකාවට සහ ඉන් පිටතට පියාසර කරන සෑම අවස්ථාවකම අපගේ පළමු තේරීම සෑම විටම ජාතික ගුවන් සේවයයි. ඒකට හේතුව ගුවන් ගමන තුළ ඇතිවන අපේ ගෙදර වගේ හැඟීම සහ අපට ලැබෙන සැලකිල්ල. 2009 දී ලොහෝර් හි සිදු වූ අවාසනාවන්ත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය අපව ගෙදරට රැගෙන ආපු විඳිහ මට අමතක කළ නොහැකිය. ගුවන් කාර්ය මණ්ඩලයේ අවධානය, සැලකිල්ල සහ සංවේදීතාවය අතිමහත්ය. ”

ක්‍රිකට් පුරාවෘත්තයක් වන මහේල ජයවර්ධන මහතා මෙසේ පැවසීය. “රටේ වඩාත්ම සිත් ඇදගන්නාසුළු හා ආකර්ෂණීය අංගයන් නිරාවරණය කරන ජාතික ගුවන් සේවයේ මෙම ප්රයත්නයේ කොටස්කරුවෙකු වීම අපූරු අත්දැකීමක්. මෙම නිෂ්පාදනයට මා සම්බන්ධ වීම නිසා ශ්‍රී ලංකාවට සංචාරකයෙකුට ලබා දීමට බොහෝ දේ ඇති බව මට වැටහුණා. ”

භාතිය ජයකොඩි මහතා මෙසේ පැවසීය. “මෙම විශිෂ්ටතම කෘතිය ප්‍රතිනිර්මාණය කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය අපට ආරාධනා කළ විට, මම මුලින් අකමැති වූයේ, මෙම ගීතය මම ඉතා අගය කළ සංගීත කාණ්ඩයක් වූ බැවිනි. නමුත් එහි කොටස්කරුවෙකු වීමට ලැබීම මට අතිශයින්ම ගෞරවයක් වන අතර අපගේ ගමනාන්තය ලොවට ගෙන යාම සඳහා එවැනි බොහෝ උත්සාහයන් දැරීමට ශ්‍රීලංකන් ගුවන් සමාගමට සියලු ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.”
සන්තුෂ් වීරමන් මහතා “ ශ්‍රීලංකන් ගුවන් සේවය නොමැතිව ශ්‍රී ලංකාව ලොවට ළඟා වීමට උත්සාහ කිරීම කිසිවෙකුට සිතාගත නොහැකිය. ජාතික ගුවන් සේවය විසින් ජාතියට ලබා දී ඇති විශ්වාසය එයයි. අනාගත පරපුරට ක්ෂිතිජයෙන් ඔබ්බට බැලීමට එය බලාපොරොත්තුවක් ලබා දී තියෙනවා. ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ අපගේ සම්බන්ධතාවය අපගේ සංගීත වෘත්තියේ ආරම්භය එනම් මීට වසර 20 තරම් අතීතයකට දිව යනවා. ශ්‍රී ලංකාවට වසර ගණනාවක් පුරා විශාල සේවාවක් කර ඇති හෙයින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ පිළිබඳව අපි දිගටම විශ්වාසය තබනවා. ”
ශ්‍රීලංකන් ගුවන් සමාගමට මෙම විඩීයෝව නිර්මාණය කිරීම සඳහා නිර්මාණාත්මක ප්‍රචාරණ ආයතන දෙකක් වන Leo Burnett සහ Wunderman Thompson සහය ලබා දී ඇත.
මීට සමගාමීව ශ්‍රීලංකන් ගුවන් සේවය සිය විශාලතම විදේශ වෙළෙඳපොළ වන ඉන්දියාව ඉලක්ක කර ගනිමින් සිදු කළ “Serendipity Next Door” සන්නාම වීඩියෝව එළිදක්වා පැය 19 ක කාලයක් තුළ ගෝලීය සමාජ ජාල හරහා එය නැරඹූ ප්‍රමාණය මිලියන 5 ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ දේශීය වෙළඳනාම වීඩියෝවක් මිලියන 5 ක් නැරඹූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. එසේම ශ්‍රී ලංකාවේ වීඩියෝවක් පැය 12 ක කාලයක් තුළ දර්ශනවාර මිලියනය දක්වා වේගයෙන් ලඟා වූ වීඩියෝව ලෙස ද මෙය එය වාර්තාවක් තැබීය.
ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රියම පුද්ගලයින් දෙදෙනෙකු වන බොලිවුඩ් කීර්තියට පත් ජැක්ලින් ෆර්නැන්ඩස් සහ ක්‍රිකට් පුරාවෘත්තයක් වන කුමාර සංගක්කාරගේ නිරූපනයන් තුළින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විඳහා පෙන්වන මෙම ‘‘Serendipity Right Next Door’ වීඩියෝව මගින් ශ්‍රී ලංකාව නැමති සුන්දර දූපතේ සතුටට පත්වන ආකාරය ජැක්ලින් ෆර්නැන්ඩස් සිය ප්‍රේක්ෂකයන්ට තොරතුරු හෙළි කරන අතර, සංගක්කාර මහතා ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, සංස්කෘතිය, ආහාර වල ප්රනීතභාවය සහ ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරය සංකේතවත් කරන ජාතික ගුවන් සේවයේ ගුවන් මැදිරියේ අත්දැකීම් ප්‍රේක්ෂකයා වෙත රැගෙන යයි. මේ වන විට එම වීඩියෝව මිලියන 20 කට අධික දර්ශන ප්‍රමාණයක් සටහන් කර තිබේ.
Video Story