ශ්‍රීලංකන් කෙයාර්ස් බෝපත්තලාවේ වෛද්‍ය කඳවුරක් පවත්වයි

    May, 19, 2022

    ශ්‍රීලංකන් කෙයාර්ස් Liquid Island (Pvt.) Limited සමඟ එක්ව නුවරඑළිය බෝපත්තලාව සිංහල විද්‍යාලයේ දී වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා වෛද්‍ය කඳවුරක් පසුගියදා සංවිධානය කළේය.  මෙම  වෛද්‍ය කඳවුර සඳහා වෛද්‍යවරුන් තිදෙනෙකු සහ ලියාපදිංචි හෙදියන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සහාය හිමි වූ අතර  එහි දී රෝගීන් 121 කට අධික පිරිසකට වෛද්‍ය උපදේශන සහ ඖෂධ නොමිලේ ලබා දෙන ලදී.  ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් අංශය, ශ්‍රීලංකන් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහ හවුල්කාර සංවිධානවල නොමසුරු පරිත්‍යාග සමඟ දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්ගේ සහ ප්‍රජාවන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට නිරන්තරයෙන් ක්‍රියා කරයි.

    බෝපත්තලාව සිංහල විද්‍යාලය මධ්‍යම පළාතේ අවම පහසුකම් සහිත ග්‍රාමීය පාසලක් ලෙස හඳුනාගෙන ඇත. පාසල දැනට 1 වෙනි ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය ( සාමාන්‍ය පෙළ)  දක්වා සිසුන් 80 දෙනෙකුට අධ්‍යාපනය ලබා දෙයි. මෙහි වර්තමානයේ ගුරුවරුන් 10 දෙනෙකු සේවය කරයි. පාසලේ සිටින සියලුම සිසුන් ඉතා අවම පහසුකම් අත්විඳින අවට ගොවි ප්‍රජාවට අයත් පවුල්වල දරුවන් වේ. සිසුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා ආසන්නතම රෝහල වෙත යාමට  කිලෝමීටර් 20 ක් පමණ  යායුතු වේ.