May, 10, 2023
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, 2023 මැයි 01 දින සිට මැයි 04 දින දක්වා ඩුබායි හිදී පැවති Arabian Travel Mart (ATM) 2023 ප්‍රදර්ශනයට සහභාගී විය. Arabian Travel Mart යනු මැද පෙරදිග කලාපයේ ප්‍රමුඛතම සංචාරක ප්‍රදර්ශනය වන අතර, මෙයට සහභාගී වීම තුළින් මැද පෙරදිග සහ උතුරු අප්‍රිකා කලාපවල සංචාරකයන් මෙරටට ආකර්ෂණය කරගැනීම ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන අරමුණ විය. මැද පෙරදිග කලාපයේ සංචාරක කර්මාන්තය සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට ලැබෙන අගනා අවස්ථාවක් වන බැවින් ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම වසරකදීම මෙම ප්‍රදර්ශනයට සහභාගී වෙයි. මෙම කලාපය ඉහළ වත්කම් සහිත සංචාරකයන් සිටින කලාපයක් වන බැවින් මෙවරත් Arabian Travel Mart ප්‍රදර්ශනයේදී එම කලාපයේ සිට ශ්‍රී ලංකාව වෙත සහ වෙනත් රටවල් වෙත තමන් ක්‍රියාත්මක කරන ගුවන් ගමන් පිළිබඳව නරඹන්නන් දැනුවත් කිරීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම කටයුතු කළේ ය.
මේ වනවිට ශ්‍රීලංකන් ගුවන් සේවය මැද පෙරදිග වෙත සතියකට ගුවන් ගමන් වාර 40 කට වඩා ක්‍රියාත්මක කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හා ඩුබායි, කටාර් රාජ්‍යයේ දෝහා, සෞදි අරාබියේ දමාම් හා රියාද් සහ කුවේට් වෙත මෙලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගමන් වාර ක්‍රියාත්මක වේ. ඉදිරියේදී නව ගුවන් යානා ලබාගැනීමත් සමග, මෙම කලාපය වෙතට පියාසර කරන වාර සංඛ්‍යාව වැඩි කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය බලාපොරොත්තු වෙයි. විශේෂයෙන්ම අබුඩාබි, ඩුබායි සහ දෝහා වෙත ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමටත්, සෞදි අරාබියේ ජෙඩා වෙත නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමටත් ශ්‍රීලංකන් ගුවන් සමාගම සැලසුම් කර ඇත.
මැද පෙරදිග රටවල් රැසක සිට ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන ශ්‍රීලංකන් ගුවන් සේවය, එම කලාපයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට ඇති හොඳම විසඳුමකි. එමෙන්ම මාලදිවයින, ඉන්දියාව සහ නැගෙනහිර ආසියානු රටවල් රැසක් වෙතද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් ක්‍රියාත්මක වේ.
මෙවරත් ATM ප්‍රදර්ශනයට ලොව රටවල් රැසක නරඹන්නන් මෙන්ම ජනමාධ්‍ය නියෝජිතයන් විශාල පිරිසක් පැමිණියහ. මෙම ප්‍රදර්ශනයට සහභාගී වීම මගින් මැද පෙරදිග සහ ශ්‍රී ලංකාව අතර සංචාරක කටයුතු ප්‍රවර්ධනය කරමින් වැඩි සංචාරක පිරිසක් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කරගැනීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය බලාපොරොත්තු වෙයි.




Video Story