ශ්‍රීලංකන් ගුවන් සේවය 2019 Golden City Gate සම්මාන උළෙලේ දී දෙවන වරටත් සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

    March, 21, 2019

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම ලොව විශාලතම වෙළෙඳ සංචාරක ප්‍රදර්ශනය වන ITB බර්ලීන් හි පැවැත්වූ 2019 ගෝල්ඩන් සිටි ගේට්ස් (Golden City Gate) සම්මාන උළෙලේ දී ගුවන් සමාගමේ අලෙවි සන්නිවේදන ප්‍රයත්නයන් හි නව්‍යකරණය සහ ගෝලීය ආකර්ෂණීය බව යළිත් වරක් විදහා දක්වමින් සම්මාන ත්‍රිත්වයකින් පසුගියදා පිදුම් ලැබීය. 19 වෙනි වරටත් පැවැත්වූ මෙම සම්මාන උළෙල සඳහා රටවල් 32 ක් විසින් සිදුකළ ඉදිරිපත් කිරීම් 148 ක් සාමාජිකයන් 40 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් හරහා විනිශ්චයට ලක්විය.

    මෙම සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රවර්ධන වීඩියෝව (product video) සඳහා ගුවන් සමාගම් ආයතනික (‘Airlines- corporate’ category ) අංශය යටතේ පළමු තරු සම්මානය ද, ඉන්දියාව මූලික කරගනිමින් සිදු කළ රූපවාහිනී සිනමා දැන්වීම් අංශය (TV Cinema spot category) යටතේ පළමු තරු සම්මානය සහ මෙල්බර්න් මැරතන් 2018 වෙනුවෙන් නිර්මාණය කරන ලද වීඩියෝව සඳහා තුන්වන තරු සම්මානය ද හිමි විය.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා ප්‍රකාශ කර සිටියේ මෙම ගෞරවනීය සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන් ගුවන් සේවය සම්මානයට පාත්‍ර වූ තුන්වන අවස්ථාව සහ එකවර සම්මාන තුනක් දිනා ගැනීමට සමත් වූ දෙවන අවස්ථාව මෙය බවයි. මෙම සම්මාන තුළින් ගුවන් සමාගමේ අලෙවි සන්නිවේදන ක්‍රියාමාර්ගයන් හි ස්ථාවරත්වය හා ගෝලීය වශයෙන් හිමිවන පිළිගැනීම තවදුරටත් සනාථ වන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. නිර්මාණශීලී නව්‍ය සංකල්ප හරහා, තව දුරටත් ශ්‍රී ලංකාව ලෝකය වෙත රැගෙන යාමට මෙම නිර්මාණ දිරිමත් කිරීමක් වනු ඇති බවද හෙතෙම ප්‍රකාශ කර සිටියේය.

    මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු සමින්ද පෙරේරා මහතා සදහන් කළේ ශ්‍රීලංකන් ගුවන් සමාගම ජාතික ගුවන් සේවය ලෙස සැම විටම උත්සහ දරන්නේ ජාත්‍යන්තර ම්ටටමේ උසස් සේවාවක අත්දැකීම සිය මගීන්ට ලබාදීමට බවයි. මෙම සම්මාන ත්‍රිත්වය මගින් සියලු සීමාවන් අභිබවායමින් ගුවන් සේවයේ මෙභෙවර පැහැදිලිව සන්නිවේදන කර ඇති බවද හෙතෙම පෙන්වා දුන්හ. එසේම සිය අලෙවිකරණ සන්නිවේදන නිෂ්පාදනය ගෝලීය වශයෙන් අගය කිරීම පිළිබඳව ආඩම්බරයට පත්වන බවත් මෙයින් අදහස් වන්නේ ඔහු සහ ඔහුගේ කණ්ඩායම ඉදිරියටත් වඩාත් ආකර්ෂණීය ව්‍යාපෘති සිදු කිරීමට දිරිගැන්වීම බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ගුවන් සමාගම් ආයතනික වර්ගය යටතේ පළමු තරු සම්මානය හිමිකරගත් වීඩියෝ පටය (https://www.youtube.com/watch?v=9_PsMbiqLPo&spfreload=5) , ශ්‍රීලංකන් ගුවන් සේවයේ සියලු සේවා අංගයන් තුළින් පිළිබිඹු වන ශ්‍රී ලාංකේය උණුසුම් සහ ආගන්තුක සත්කාරය විදහා පෙන්වයි. අති නවීනතම සැප පහසුකම්, ශ්‍රී ලාංකේය අත්දැකීම් පැහැදිලිව පිළිබිඹු කරන තේමාවන්, ශ්‍රීලංකන් ගුවන් සමාගෙන් ඉස්මතු වී පෙනෙන මානව සම්බන්ධතා මෙම වීඩියෝ පටය තුළ අන්තර්ගත වී තිබේ. එසේම එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකින් පෝෂණය කරනු ලබන සිත් ඇදගන්නාසුලු ආගන්තුක සත්කාරය මෙම වීඩියෝ පටය තුළින් නිරූපණය කරයි.

    ප්‍රථම තරු සම්මාන දිනා ගැනීම සමත් වූ සෙසු ප්‍රවර්ධන වැඩසටහනය වූයේ (https://www.youtube.com/watch?v=bGyGhn-9ZxM) ඉන්දියානු ප්‍රේක්ෂකයින් මූළික කර ගනිමින් සකස් කරන ලද වෙලඳ ප්‍රවර්ධන නිර්මාණයටය. ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් මාර්ග ජාලය සහ එහි ගෝලීය පියසටහන් ප්‍රදර්ශනය කරමින් සංචාරකයන් ආස්වාදජනකත්වයට සහ නව ගමනාන්ත ගවේශනය කිරීමට පෙළඹවීමට මෙය උත්සාහදරා ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගම ඉන්දියාව වෙත මෙහෙයුම් සිදුකරන විශාලතම ගුවන් සේවයක් වශයෙන් එහි ආකර්ශණීය නගර 12 ක් වෙත ඔබව සමීව කරවයි. එසේම ඉන්දියාවේ සිට ශ්‍රීලංකන් සමගින් පියාසැරීමට ප්‍රේක්ෂකයන් තුළ ආකර්ෂණයක් එමගින් ඇති කරනු ලබයි .වේගයෙන් වෙනස් වන රූප රාමු භාවිතය ඔස්සේ, ඇසපිය සලන නිමේෂ‍යෙන් යමක් මග හැරීයාමට හැකි බව, ප්‍රේක්ෂකයාට හඟවයි.

    තුන්වන තරු පංතියේ සම්මානය දිනා ගත් (https://www.youtube.com/watch?v=FX6HnFVbUG4 ) මෙල්බර්න් මැරතන් 2018 වීඩියෝ පටය තුළ ශ්‍රීලංකන් ගුවන් ගුවන් සේවය නවීනතම ගමනාන්තය ලෙස මෙල්බර්න් සිය ගෝලීය ගුවන් ගමන් ජාලයට එකතු කිරීම සහ එය ඓතිහාසික මෙල්බර්න් මැරතන් සැණකෙළියේ දී සංඛේතවත් කිරීම පෙන්වා දෙයි.

    අඛණ්ඩව වසර දෙකක් මෙල්බර්න් අර්ධ මැරතන් තරඟයේ ප්‍රධාන අනුග්‍රහකයෙකු වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කරයි. පසුගිය වසරේ දී 12000 අධික සහභාගීත්වයකින් පැවති එම තරඟයේ දී තරඟකරුවන් මෙල්බර්න් හි ප්‍රසිද්ධ ස්ථාන පසුකරමින් ලෝකප්‍රසිද්ධ මෙල්බර්න් ක්‍රීඩාංගනයෙන් තරඟය අවසන් කළ අතර එම අවස්ථාවන් දැක ගැනීමට සහ ඔවුන්ට සහයෝගය දැක්වීම සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්රොක් වී සිටියහ. මෙම වීඩියෝව තුළින් ක්‍රීඩාශීලීත්වය, උත්සාහය, ජයය්‍රහණය , ඉලක්කය සම්පූර්ණ කිරීමේ හැඟීම ඉස්මතු වන අතර මෙල්බර්න් වෙත ශ්‍රීලංකන් ගුවන් සබඳතා පිළිබඳව ප්‍රදර්ශනය කෙරේ.

    පසුගිය වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් “එකම ජීවයෙන් යුත් දෙනුවරක් ගවේශනය කරන්න” (“Two Cities, One Spirit“) යන නමින් දියත් කළ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා පළමු තරු සම්මානයක් ද , චීනය සඳහා දියත් කළ ප්‍රචාරණ ව්‍යාපාරය වන “The Spirit of China, the Story of Sri Lanka” වෙනුවෙන් දෙවන තරු සම්මානයක් ද හිමිවිය. එසේම ගුවන් සමාගම ඉන්දියාව සඳහා දියත් කළ “ඉන්දියාව වෙත මෙහෙයුම් සිදුකරන විශාලතම ගුවන් සේවය” (“The Largest Carrier to India”) ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා රූපවාහිනී සිනමා කාණ්ඩය යටතේ තවත් දෙවන තරු සම්මානයකින් පිදුම් ලැබීමට ද සමත් විය.

    මෙම නිර්මාණශීලී කාර්යයන් වෙනුවෙන් ගුවන් සමාගමට J Walter Thompson ශ්‍රී ලංකා ආයතනය සිය නිර්මාණශීලී දායකත්වය ලබාදී ඇත. ජාත්‍යන්තර ගුවන් සේවයක් වන ශ්‍රීලංකන් හා එක්ව කටයුතු කිරීම තුළින් වත්මන් කාලයට සුදුසු නිර්මාණශීලි ප්‍රවීණතාවය සහ ගෝලීය ප්‍රවණතා පිළිබද අවබෝධය හරහා මෙම නිර්මාණ සුවිශේෂී සහ සම්මානලාභී ප්‍රයත්නයන් බවට පත්වී ඇත. මෙම වීඩියෝ නිර්මාණයේ දී weWine films තම දායකත්වය ලබා දී ඇති අතර, එමගින් මෙම නිර්මාණ සඳහා නව ආකල්ප මෙන්ම දැක්මක් ලබා දී ඇත.

    සෑම වසරකම Golden City Gate සම්මාන උළෙල මගින් ගෝලීය සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ විවිධ මාධ්‍ය හරහා ඉදිරිපත් කරන නිර්මාණශීලී උත්සාහයන් ඇගයීමට ලක්කරනු ලබයි. මෙම කලා නිර්මාණ ජාත්‍යන්තර විනිසුරු මඬුල්ලක් මගින් ලකුණු පදනම් කරගනිමින් ඇගයීමට ලක්කරන අතර නිර්මාණශීලීත්වය,නව්‍යකරණය, සැලැසුම් නිර්මාණය,සැකැස්ම, අව්‍යාජත්වය සහ එමගින් ගමනාන්තය නැරඹීමට සංචාරකයන් උනන්දු කරවන්නේ ද යන්න සැළකිල්ලට භාජනය වේ. Golden City Gate සම්මාන උළෙලලේ දී සම්මානයෙන් පිදුම් ලැබූ අනෙකුත් ජයග්‍රාහකයන් වන්නේ එක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය අබුඩාබි, ජපානයේ ANA ගුවන් සේවය, තුර්කි එයාර්ලයින්ස් සහ Incredible India ප්‍රචාරණ ව්‍යාපාරයයි.

    ඡායාරූපය - ශ්‍රීලංකන් ගුවන් සේවය, යුරෝපයේ කලාපීය ප්‍රධානී, මනෝජ් ගුණවර්ධන මහතා Golden City Gate සම්මානය උළෙලේ සභාපති Wolfgang Jo Huschert මහතා අතින් සම්මානයකින් පිදුම් ලැබූ අවස්ථාව.