ශ්‍රීලංකන් ගුවන් සේවා සත්කාරයෙන් ‘Raid Amazones 2022’ඇරඹීමට සූදානම්

    March, 9, 2022

    ශ්‍රීලංකන් ගුවන් සේවය ‘Raid Amazones 2022’හි සාඩම්බර නිල ගුවන් සේවා හවුල්කරුවා බවට පත්වෙමින් වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා උළෙල සඳහා ප්‍රංශ ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවට පිළිගැනීමට සූදානම්ව සිටියි. අසීරු කාලවලදී පවා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ගුවන් සමාගම වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර, වසංගතයෙන් යටපත් වූ සංචාරක කර්මාන්තය නැවත නගාසිටුවීම සඳහා ද ගුවන් සේවය පෙරමුණ ගෙන තිබේ. ඒ සඳහා, ශ්‍රීලංකන් සිය ගමනාන්තවලින් සියයට 90 කට වඩා ක්‍රමයෙන් මෙහෙයුම් යළි ස්ථාපිත කර ඇති අතර පැරිස් ඇතුළු නව ගමනාන්ත වෙත ගුවන් ගමන් හඳුන්වා දී ඇත. මෙම කාලසීමාවේ ගෝලීය වැඩසටහන් සඳහා අනුග්‍රහය සහ සත්කාරකත්වය දැක්වීම සංචාරක ව්‍යාපාරයට දිරිගැන්වීමක් වන අතර මෙමගින් ශ්‍රී ලංකාවට සංචාරය කිරීමට ලොව පුරා සිටින සංචාරකයින් දිරිමත් කරනු ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සේවය විශ්වාස කරයි.

    Raid Amazones යනු ප්‍රංශයෙන් ආරම්භ වූ ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වකි. සාමාන්‍යයෙන් ප්‍රංශ ක්‍රීඩිකාවන් විදේශීය සංචාරක ගමනාන්තයක් පසුබිම් කරගෙන,  බයිසිකල් පැදීම, ධාවනය,  ඔරු පැදීම, දිවීම සහ දුණු ශිල්පය වැනි අභියෝග රාශියකට මුහුණදීම මෙහිදී සිදුවේ. එබැවින්, තරඟයට සහභාගිවන්නන්ට ඔවුන්ගේ කුසලතා පරීක්ෂා කිරීමට පමණක් නොව, සත්කාරක රටක අද්විතීය දර්ශන, මිනිසුන් සහ එහි සංස්කෘතිය සොයා ගැනීමට මෙහිදී ඉඩ සලසයි. මෙම වසරේ දී ශ්‍රී ලංකාවේ සංකේතාත්මක සීගිරි පර්වත බලකොටුව අවට ප්‍රදේශ මූලික කර ගනිමින් තරඟය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    සීගිරිය සහ මාතලේ ඓතිහාසික, සංස්කෘතික හා පාරිසරික දර්ශන අත්විඳමින් , සාමාජිකයින් දෙදෙනෙකු හෝ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායම් වශයෙන් බෙදී  අදියර දෙකක් යටතේ තරඟකරුවන් 550 කට අධික පිරිසක් මෙවර තරඟ කිරීමට අපේක්ෂා කෙරේ. පළමු අදියර 2022 මාර්තු  මස 13 සිට 23 දක්වා සහ දෙවන අදියර 2022 මාර්තු මස 27 සිට අප්‍රේල් මස 6 දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා ගෝලීය මාධ්‍ය ආයතනවල සහභාගිවන්නන්, නිලධාරීන් සහ නියෝජිතයන් ඇතුළුව 600 කට අධික පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කර ඇත.

    ‘Raid Amazones 2022’ හි නිල ගුවන් සේවා සහකරු වන ශ්‍රීලංකන් ගුවන් සේවය ඒ වෙනුවෙන් සිය ගුවන් යානයක් හැඩගැන්වීමට පසුගියදා කටයුතු  කරන ලදී. මෙම වසරේ තරඟාවලිය සඳහා විචිත්‍රවත් හා අද්විතීය පසුබිමක් වන සීගිරිය නිරෑපණය වන අයුරින් මෙම ශ්‍රීලංකන් ගුවන් යානය අලංකාරවත් කර ඇත.

    මෙම තරඟාවලිය  සඳහා පැරිසියේ සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මෙම ගුවන් යානය යොදාවා ගැනීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව මෙම ගුවන් යානය ගුවන් සමාගමේ අනෙකුත් ගමනාන්ත බොහොමයකට අඛණ්ඩව පියාසර කරනු ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාව ක්‍රීඩා සහ ත්‍රාසජනක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීමට හැකිවනු ඇත.

    Raid Amazones 2022 හරහා ප්‍රංශයේ සහ යුරෝපයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ පැමිණීම ඉහළ නැංවීමට ඉඩ ඇති අතර මේ හරහා වික්‍රමාන්විත ක්‍රීඩා සඳහා කදිම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නංවෙනු ඇත.  තවද, මෙම තරඟය ජාත්‍යන්තර මාධ්‍ය  සහ සමාජ මාධ්‍ය තුළින් ආවරණය කෙරෙන අතර ඒ හරහා විශාල ගෝලීය ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට හැකිවනු ඇත. එසේම යුරෝපයෙන් ඔබ්බට වෙළඳපල තුළ ශ්‍රී ලංකාවට සැලකිය යුතු  අවධානයක් ලබා ගැනීමට මග පාදයි. වසංගතයට පෙර සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම විදේශ විනිමය උපයන කර්මාන්තය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, විදේශ මුදල් හිඟය ඇතුළුව පසුගිය දෙවසර තුළ සංචාරක ව්‍යාපාරයේ පසුබෑම හේතුවෙන් සැලකිය යුතු ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවිය. එම නිසාම සංචාරක  කර්මාන්තය නව ආර්ථික දෘෂ්ටි කෝණයකින් නැවත ගොඩනැගීම අත්‍යවශ්‍ය වී තිබේ. ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජාතික ආර්ථිකයට සහ රජයේ සංවර්ධන ඉලක්කවලට සහය වීමේ වගකීම ඉටු කිරීමට අඛණ්ඩව උත්සාහ කරයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා ප්‍රකාශ කළේ “Raid Amazones” හි සහභාගිවන්නන්  ඉතා ආදරයෙන් ශ්‍රීලංකන් ගුවන් වෙත පිළිගැනීමට බලාපොරොත්තු වන බවයි. එසේම ප්‍රමුඛ පෙළේ ගෝලීය සංවිධාන විසින් නැවත නැවතත් ඉහළම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව පිළිගෙන ඇති බවද හෙතෙම පෙන්වා දුන්හ. මෙම සහයෝගීතාවය ජාත්‍යන්තර සංචාර සඳහා නැවත ප්‍රවේශ විය හැකි ලකුණු පෙන්නුම් කරන බවත් මෙමගින් ශ්‍රී ලංකාව බහුවිධ සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකයට නිරූපණය කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    ශ්‍රීලංකන් ගුවන් සේවය නිල ගුවන් සේවා සහකරු වීමට අමතරව, ‘Raid Amazones 2022’ තවත් දේශීය හවුල්කරුවන් කිහිප දෙනෙකු සමඟම එකතු වී තිබේ. Theme Resorts සහ Connaissance De Ceylan නිල භූමිය හැසිරවීමේ හවුල්කරුවා වන අතර, සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙහි අලෙවිකරණ කටයුතු සඳහා හවුල් වී තිබේ.

    ඡායාරූපය - Connaissance de Ceylan හි සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, Raid Amazones හි ප්‍රධාන විධායක නිලධාරී Alex Debanne , ශ්‍රීලංකන් ගුවන් සේවයේ වැඩබලන ප්‍රධාන විධායක රිචඩ් නට්ල් යන මහත්වරුන් ඊයේ (8) පැවති මාධ්‍ය හමුවේ දී.