ශ්‍රීලංකන් සහ කොළඹ මෙට්‍රොපොලිටන්හි රොටරි සමාජය එක්ව “ළමා හිතවාදී පොලිස් ස්ථානයක්” අරඹයි

    October, 27, 2017

    ශ්‍රීලංකන්  ගුවන් සමාගම    සහ  කොළඹ  මෙට්‍රොපොලිටන් රොටරි  සමාජය හා එක්ව  ශ්‍රී ලංකාවේ  විවිධ  ආකාරයෙන්  සිදුවන  ළමා අපචාර පිටුදැකීම වෙනුවෙන්  ළමා   හිතකර  පොලිස්  ස්ථාන  ව්‍යාපෘතියක්   දියත්  කිරීමේ  වැදගත්  පියවරක්  පසුගියදා ගනු  ලැබීය.  මෙමගින් ළමා අපචාර වලට ගොදුරු  වූ දරුවන්ට සිදුවු දුක්ගැහැටකම් වලට  සාධාරණයක් ඉටුකිරිමට අපේක්ෂා  කෙරේ.

    ඒ අනුව මෙම වැඩසටහන යටතේ  රට පුරා ඇති පොලිස්ථාන අපචාර නිසා කම්පනයට පත් දරුවන්ට රැකවරණයක් වන මධ්‍යස්ථාන බවට පරිවර්තනය කෙරේ. එම ආරක්ෂිත ස්ථාන වෙත පැමිණ අපචාරවලට ගොදුරු වීම පිළිබඳ විස්තර හෙළිකිරීමට දරුවන්ට මෙමගින් හැකිවේ. මෙම වැඩසටහනේ තීරණාත්මක අංගයක් වන්නේ ලිංගික අපචාර, ශාරීරික සහ මානසික අපයෝජනය ඇතුළු සියලු ආකාරයේ ළමා අපචාරයන්ට ගොදුරු වීම වැලැක්වීමේ නවීන ක්‍රමවේදයන් පිළිබඳ පොලිස් නිලධාරීන්ට සම්පූර්ණ පුහුණුව ලබාදීමයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා සඳහන් කළේ  දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා ප්‍රබල මෙන්ම උගත් ප්‍රජාවක් ගොඩනැඟීය යුතු බව ශ්‍රීලංකන් ගුවන් සමාගම විශ්වාස කරන බවයි. එසේම ජාතියේ දරුවන්ගේ ආරක්ෂාව හා සුභසාධනයට වඩා වැදගත් වෙනත් කිසිවක්  නොමැති බවද හෙතෙම පෙන්වා දුන්හ.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා සිදුකරන මෙම ව්‍යාපෘතිය සඳහා  කොළඹ රොටරි සමාජය හා එක්ව කටයුතු කිරීම පිළිබඳව නැවත වරක් ආඩම්බරයට හා සතුටට  පත්වෙන බවත්  ඒ වගේම  මෙය ජාතියේ වගකීමක් ඉටු කිරීමක් ලෙස සළකන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  මානව සම්පත් අංශ ප්‍රධානී සහ ගුවන් සමාගමේ ආයතනික සමාජ වගකීම් ප්‍රයත්නයන් සඳහා මූලිකත්වය දෙන ප්‍රදීප කැකුලාවල මහතා ප්‍රකාශ කර සිටියේ  දරුවන්ගේ අයිතිවාසිකම් සහ රැකවරණය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබා ඇති නමුත් ඒ සඳහා තවත් බොහෝ දේ කළ යුතු බව විශ්වාස කරන බවයි.  රට පුරා ඇති පොලිස් ස්ථාන ළමුන්ට ආරක්ෂාව හා රැකවරණය ලබාදීමට හැකි ස්ථාන බවට පරිවර්තනය කිරීම තුළින් ඔවුන්ට අවශ්‍ය සුවපහසුව රැකවරණය ලබාගැනීමට මෙහිදී හැකි වන බවද  බවද ඒ මහතා පැවසීය.  එසේම මහජනතාව දැනුවත් කිරීම මෙන්ම වඩාත් කාර්යක්ෂම පරීක්ෂණ මගින් මෙම අපචාරවලට ගොදුරුවූවන්ට සාධාරණය ඉටු කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    ළමා හිතවාදී පොලිස් ස්ථානය ඇතිකිරීමේ  ව්‍යාපෘතියේ අරමුණ වනුයේ 2030 වසර වන විට දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය තබා ඇති  ඉලක්කයන් සපුරා ගැනීමට සහාය වීමටය. මෙම ව්‍යාපෘතිය කොළඹ නගරයේ උතුරින් පිහිටි රාගම පොලිස් ස්ථානය සමඟ ආරම්භ කරන අතර, එම වැඩසටහන රට පුරා වෙනත් පොලිස් ස්ථානවල ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබේ.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් (SriLankan Cares)  2005 වසරේ ආරම්භ කිරීමත් සමඟ ළමුන්ගේ සුභසාධනය , ළමා සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් කැපවී සිටින අතර ශ්‍රී ලංකාවේ වාණිජ ක්ෂේත්‍රයේ පුද්ගලික සමාගම් අතුරින් ප්‍රධාන තැනක් ගැනීමට සමත් වී තිබේ. අඩු ආදායම්ලාභී ප්‍රජාවගේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා පිරිසිදු පරිසරයක් අපේක්ෂා කරන ව්‍යාපෘති සඳහා ශ්‍රීලංකන් කෙයාර්ස් විශේෂ උනන්දුවක් දක්වයි. දිවයින පුරා පාසල් හා රෝහල් වැඩිදියුණු කිරීම සඳහා ළමුන්, කාන්තාවන් සහ විවිධ ආබාධිත පුද්ගලයන් කෙරෙහි අවධානය යොමු කර ඇත.

    ජාතික ගුවන් සේවය ලෙස වගකීම් ඉටු කරමින්, යටිතල පහසුකම් සංවර්ධනය, ශිෂ්‍යත්ව, සම්මන්ත්‍රණ පැවැත්වීම, වැඩමුළු, දැනුවත් කිරීමේ වැඩසටහන්, සෞඛ්‍ය කඳවුරු, විවිධ පරිත්‍යාගයන් හා දරුවන්ගේ හදිසි වෛද්‍ය  සැත්කම් සඳහා නොමිලේ ගුවන් ගමන් අනුග්‍රහකත්වය සපයයි.

    දරුවන් සවිබල ගැන්වීම සහ ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින්  8 වැනි Village Heartbeat Empowerment (ගැමි  හදගැස්ම සවිබල ගැන්වීම ) ව්‍යාපෘතිය මධ්‍යස්ථානය මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී පසුගියදා විවෘත කරන ලදී. ශ්‍රීලංකන්  ගුවන් සමාගමේ  ආයතනික සමාජ වගකීම්  අංශය වන  ශ්‍රීලංකන් කෙයාර්ස්  දස දහස් ගණනාවක්  වූ තරුණ ප්‍රජාව, කාන්තාවන් සහ ළමුන් සවිබල ගැන්වීම සඳහා විශාල වැඩපිළිවෙළක් දියත් කර ඇත. මේ අනුව ශ්‍රීලංකන් කෙයාර්ස්, ගුණ ජය සතුට පදනම (Foundation of Goodness) සමඟ දිගුකාලීන සහයෝගිතා ව්‍යාපෘතියක්  ලෙස මෙම ගැමි හදගැස්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

    කොළඹ රොටරි සමාජයේ හිටපු සභාපති හා සාමාජිකයකු වන කුමාර් මර්චන්ඩානි සඳහන් කළේ කොළඹ මෙට්රොපොලිටන් හි රොටරි සමාජය මෙරට ප්‍රජාවගේ සහ දරුවන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරන බවත්, රාගම පිහිටි ළමා හිතකාමී පොලිස් ස්ථානය එවැනි  එක් ක්‍රියාමාර්ගයක් බවයි. ඕනෑම ආකාරයක අපරාධයක් ආරක්ෂිත සහ පෞද්ගලික වාර්තාකිරීමට සිදුසු පරිසරයක් දරුවන්ට සකසා  දීම මෙහි අරමුණ බවද හෙතෙම පැවසීය. එසේම මෙම නවෝත්පාදන වැඩසටහන සඳහා  ශ්‍රීලංකන් ගුවන් සමාගම අනුග්‍රාහකත්වය දැක්වීම පිළිබඳව ස්තුතිවන්ත වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.