ශ්‍රී ලංකන්, මදය නැති හිස් ටින් එකක්

    May, 2, 2015

    මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් විසින් 2014 වසරේදී රුපියල් බිලියන 29 ක අති දැවැන්ත අලාභයක් වාර්තා කර තිබෙන බවත් එමිරේට්ස් සමග තිබූ කළමනාකරණ ගිවිසුම 2008 වසරේදී අවලංගු කිරීමෙන් පසුව මේ දක්වා රුපියල් බිලියන 122 ක අලාභයක් ලබා තිබෙන බවත් අනාවරණය වේ.
    ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වාර්තාවේ දැක්වෙන්නේ ගුවන් සමාගමේ ආදායම් පසුගිය වසරේදී සියයට 5.5 කින් රුපියල් බිලියන 115.5 ක් දක්වා වර්ධනය වුවත් වියදම් රුපියල් බිලියන 144.4 ක් දක්වා වඩාත් වර්ධනය වී තිබෙන බවයි.

    පසුගිය රජය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූ වංචා පිළිබඳව විමර්ශනය කළ නීතීඥ ජේ.සී. වැලිඅමුණ ප්‍රමුඛ පස්දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුව විසින් පසුගියදා නිර්දේශ කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධානීන් විසින් සිදුකර ඇතැයි කියන ප්‍රසම්පාදන (Procurement) වංචා සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම් වලට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙසයි.

    මෙම පරීක්ෂණ කණ්ඩායම වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් පත්කර තිබුණේ 2006 වසරේ සිට 2014 වසර දක්වා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවී තිබුණු අක්‍රමිකතා සොයා බැලීම සඳහායි.

    එයාර්බස් සමාගමෙන් ඩොලර් බිලියන 2.3 ක් වටිනා නවතම ගුවන් යානා මිලදීගැනීම සඳහා පසුගිය රජය විසින් ශ්‍රී ලංකන් සමාගමේ කළමනාකාරීත්වයේ වෙනස්කම් පවා සිදුකර ඇතැයි මෙම පරීක්ෂණ වාර්තාවේ සඳහන්ය.