ශ්‍රී ලංකාවට ඩොලර් ගේන්න යුද හමුදාව පෙරමුණට

    January, 31, 2022

    එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා එක්වන මෙරට හමුදා සෙබලුන්ට ගෙවීම් කරනු ලබන්නේ ඇමරිකානු ඩොලර්වලින් බවත්, එය දැනට රටේ පවතින විදේශ විනිමය අර්බුදය මඟ හරවා ගැනීම සඳහා යම්කිසි ආකාරයකින් හෝ සහයෝගයක් ලබා දෙනු ඇති බවත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා පිටත්ව යන සාම සාධක කණ්ඩායම විසින් ඊයේ (30) ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සම්මාන පෙළපාලියක් පිරිනමනු ලැබූ අතර එම අවස්ථාවේ දී මාධ්‍ය අමතමින් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.

    ලෙබනනය බලා යන මෙම කණ්ඩායමට නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයන් 115 ක් එක්වේ. මෙම කණ්ඩායමේ ඇති විශේෂත්වය නම් පළමු වරට කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු සහ සෙබළියන් 7 දෙනෙකු එක්ව තිබීමයි.

    මෙහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා, 

    "දශක තුනකට ආසන්න කාලයක් පැවති යුද්ධය ලබා ගත් අත්දැකීම්, විනයක් ඇති හමුදාවක් වශයෙන් අපි සාමසාධක රාජකාරි ඉතාමත්ම හොඳින් කරනු ලබනවා. ඒත් එක්කම මේ දිනවල, මේ රටේ පවතින විදේශ මුදල් සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්නයේ දී වුණත්, සාමසාධක රාජකාරි සඳහා යන සියලුම අයවලුන්ට ඇමරිකානු ඩොලර්වලින් තමයි ගෙවීම් කරනු ලබන්නේ. ඒ් මගිනුත් ශ්‍රී ලංකාවට විදෙස් මුදල් ගෙන්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා. අපි සංතෝෂ වෙනවා මේ ආකාරයෙන් සාමසාධක රාජකාරි සඳහා ගොස්, ශ්‍රී ලංකාවට මේ දැනට තිබෙන තත්ත්වය මඟ හරවා ගැනීමට යම්කිසි ආකාරයකින් සහයෝගයක් දැක්වීමට අපට හැකියාව ලැබීම පිළිබඳව."