‘ශ්‍රී ලංකාවට එද්දී ෆුල් ටෑංක් කරගෙන එන්න‘ – ගුවන් සමාගම්වලට දැනුම් දීමක්

    May, 31, 2022

    ශ්‍රී ලංකාවට පියාසර කිරීමේ දී නැවත ආපසු පැමිණිය හැකිවන සේ සිය ඉන්ධන ටැංකි පූර්ණ මට්ටමින් තබා ගෙන හෝ වෙනත් ස්ථානයකින් නැවත පුරවා ගැනීමට සැලසුම් කර ගෙන ගමන් කරන මෙන් ජාත්‍යන්තර ගුවන් සේවාවලින් ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර තිබේ.

    බ්ලූම්බර්ග් පුවත් සේවය වෙත අදහස් දක්වමින් සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ රෙහාන් වන්නියප්පා මහතා පවසන්නේ මේ වන විට ගුවන් යානා ඉන්ධන හිඟයක් පවතින් බැවින්, එම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව වෙත ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රමාණවත් වන පරිදි ගුවන් යානා ඉන්ධන රැගෙන යාමට කටයුතු කරන ලෙස ගුවන් සමාගම් වෙත දැනුම් දෙන බවයි.

    මේ අතර බ්ලූම්බර්ග් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ ශ්‍රීලංකන් ගුවන්යානා සඳහා ඉන්ධන නැවත පිරවීම මේ වන විට දකුණු ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළ සහ ඩුබායි ගුවන්තොටුපළ වෙතින් සිදුකෙරන බවයි.

    විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ඉන්ධන, ආහාර ඇතුළු සෑම අංශයකින්ම හිඟයකට මුහුණ දී ඇති බවත්, ඉතිහාසයේ පළමු වතාවට 2022 මැයි මාසයේ දී ශ්‍රී ලංකාව විදෙස් ණය ආපසු ගෙවීම පැහැර හැරීමට කටයුතු කර ඇති බවත් බ්ලූම්බර්ග් වැඩිදුරටත් වාර්තා කර සිටී.