ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනවාට වඩා ඉන්දියාවෙන් ආනයනය කරනවා. දෙරට අතර වෙළඳ පරතරය රජයේ අවධානයට – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

    September, 29, 2020

    ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පසුගිය දා පැවති අන්තර්ජාල ද්විපාර්ශවීය සාකච්ඡාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (28) දින කැඳවා තිබිණ. එහිදී අදහස් දැක්වූ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ, ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට අපනයනය කරන භාණ්ඩ තොගයේ වටිනාකමට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරන බවත්, ඉදිරියේ දී දෙරට අතර වෙළෙඳ පරතරය තවදුරටත් සැලකිල්ලට ගැනීමට බලාපොරොත්තු වන බවත්ය.

    “ඉදිරි කාලයේ දී වෙළෙඳ පරතරය පිළිබඳව තවදුරටත් සැලකිල්ලට ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවට ශ්‍රී ලංකාව විසින් අපනයනය කරන භාණ්ඩ තොගයේ වටිනාකමට වඩා ඉතා විශාල වටිනාකමකට අපි එහෙන් ආනයනය කරනවා. ඒ පිළිබඳව ඉදිරියේ දී අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.“

    “ඒ සමඟම ඉන්දියාව විසින් SWAP arrangement එකක් ලබා දීලා තිබුණා ශ්‍රී ලංකාවට. ඩොලර් මිලියන 400ක්. ඉදිරි කාලයේ දී ඒ පිළිබඳවත් තවදුරට සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.“

    “ඉදිරියේ දී ඉන්දියාව සමඟ තවත් ගනුදෙනු ගැන කටයුතු කිරීමට ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් පිවිසෙන බව ඒ සාකච්ඡාවේ දී මතුවුණා.“